ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි බලපත්‍ර නිකුත් කිරීම

1.     හැඳින්වීම

        (අ)   කිසියම් ස්ථානයක සිදු කරනු ලබන ප්‍රසිද්ධ රඟ දැක්වීමක් මගින් යම් ආගමික හෝ සංස්කෘතික හෝ කිසියම් ජන වර්ගයක පැවැත්මට ඇති විය හැකි හානි හෝ පීඩා වැළැක්වීම සහතික කිරීම සඳහා යම් ප්‍රසිද්ධ රඟ දැක්වීමක් මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම සඳහා සහතික කිරීමේ බලධාරියා (රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන තැනැත්තා හෝ තැනැත්තන් සහතික කිරීමේ බලධාරියා වේ.) වෙත ඉදිරිපත් කර සහතික කිරීම මගින් ප්‍රසිද්ධ රඟ දැක්වීම පාලනය කරනු ලැබේ.

        (ආ)  කිසියම් ප්‍රසිද්ධ රඟ දැක්වීමක් හෝ සැණකෙළියක් පැවැත්වෙන ස්ථානයකට රැස් වන මහජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, පහසුව සහ ආරක්ෂාව පිළිබඳ පූර්ව ප්‍රතිකර්ම පවත්වා ගෙන යනු ලබන බවට සහතික වීමෙන් අනතුරුව, ඒ යම් රඟ දැක්වීම හෝ සැණකෙළිය පැවැත්වීම සඳහා පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරනු ලබන සහතිකය “බලපත්‍රය” වශයෙන් හඳුන්වනු ලැබේ.

        සටහන:  පළාත් පාලන ආයතනය සතු කාර්යය වන්නේ ඉහත (ආ) ඡේදයේ කාර්යය පමණි.

2.     නීතිමය අධිකාරය

        176 වන අධිකාරය වූ ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි පිළිබඳ ආඥාපනත.

3.     සුදුසුකම්

        176 වන අධිකාරය වූ ප්‍රසිද්ධ රඟ දැක්වීම් හා සැණකෙළි පිළිබඳ ආඥාපනතේ 2 වන වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති සැණකෙළියක් පැවැත්වීමට අදහස් කරනු ලබන යම් තැනැත්තකු මේ සඳහා සුදුසුකම් ලබයි.

4.     ගාස්තුව

        පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කරනු ලබන ආකාරයේ බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතු ය.

5.     ඉදිරිපත් කළ යුතු ලේඛන

        නිසි බලධාරියා සෑහීමට පත් වන ආකාරයෙන් පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කර ඇති බව තහවුරු කරමින් මෙහි ඇමුණුමෙහි දැක්වෙන ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ යුතු ය.

        (අ)   A 4 ප්‍රමාණයේ කඩදාසියක අඳින ලද, සැණකෙළියේ කාර්යයට යොදා ගන්නා සෑම අංගයක් ම පෙන්නුම් කරන සැණකෙළි භූමියේ දළ රූප සටහනක්

        (ආ)  ඒ ස්ථානයට රැස් වන මහජනතාවට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් (ස්ත්‍රී, පුරුෂ සහ ආබාධිත අයට වෙන වෙනම) සපයනු ලබන බව;

        (ඇ)  ඒ ස්ථානයේ ඉදි කර ඇති තාවකාලික ගොඩනැගිලි ප්‍රමාණවත් සවි ශක්තියකින් යුක්ත වන බව;

        (ඈ)  ඒ යම් ගොඩනැගිල්ලක රැස් වන මහජනතාවට දූෂණයට ලක් නොවූ හා ප්‍රමාණවත් වාතාශ්‍රය පවතින බව;

        (ඉ)   හදිසි ගිනි ගැනීමක දී යොදා ගත හැකි පරිදි ප්‍රමාණවත් ගිනි නිවීම් උපකරණ (සාමාන්‍ය ගිනි නිවීම්, විදුලි ගිනි නිවීම් සහ ඉන්ධන ගිනි නිවීම් උපකරණ) යොදා ගනු ලබන බව;

        (ඊ)   ආපදා අවස්ථාවක දී, රැස් වී සිටින ජනතාව ඉතා කෙටි කාලයක් ඇතුළත ඉන් ඉවත් කිරීමට ප්‍රමාණවත් පිටවීමේ දොරටු සහ ආරක්ෂිත වැඩ පිළිවෙළ යොදා ඇති බව.

        (උ)  සැණකෙළි භූමිය තුළ සාමය පවත්වා ගෙන යාමට අවශ්‍ය වැඩ පිළිවෙළ යොදා ඇති බවට ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක් ඉදිරිපත් කළ යුතු ය.

        සටහන: 1.  සැණකෙළි භූමිය සකස් කිරීමෙන් පසුව සහ සැණකෙළිය පැවැත්වීමට පෙර ඉල්ලුම් පත්‍රය නිසි බලධරයාට ඉදිරිපත් කළ යුතු ය.

                    2.  පළාත් පාලන ආයතනයට නියම වී ඇති කර්තව්‍යය තහවුරු කළ හැකි වන පරිදි, ඉහත කරුණු සම්පූර්ණ කර නොමැති යම් සැණකෙළියක් සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට නිසි බලධරයාට බලය ඇත.

                    3.  සැණකෙළිය ආරම්භ වන දිනයට දින 7 කට පෙර ඉල්ලුම් පත්‍රය නිසි බලධරයාට ඉදිරිපත් කිරීම ඉල්ලුම්කරුගේ වගකීම විය යුතු ය.

                    4.  නිසි බලධරයා යන්නෙන්, කිසියම් මහා නගර සභාවක් හෝ නගර සභාවක් හෝ ප්‍රාදේශීය සභාවක් අදහස් වේ.

6.     පටිපාටිය

පටිපාටියකාල සීමාවඅධිකාරය
අන්තර්ජාලය ඔස්සේ හෝ පෙරටු කාර්යාලයට පැමිණ රඟ දැක්වීම් හෝ සැණකෙළි පැවැත්වීම සඳහා වන ඉල්ලුම් පත්‍රය ලබා ගෙන අදාළ ඇමුණුම් ද සමඟ සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය භාර දීම ඉල්ලුම්කරු
ඉල්ලුම් පත්‍රය භාර ගෙන පසු විපරම් අංකයක් නිකුත් කර නිර්දේශ ලබා ගැනීමට තාක්ෂණ නිලධාරීගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත යොමු කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් දින මපෙරටු කාර්යාල නිලධාරි
සැණකෙළිය පැවැත්වීමට යෝජිත භූමියේ හා ඉදි කිරීම්වල, වැසිකිළි හා කැසිකිලි ප්‍රමාණය පරීක්ෂා කර නිරීක්ෂණ හා නිර්දේශ විෂය භාර නිලධාරි මගින් නාගරික කොමසාරිස් / සභාපති වෙත යොමු කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට දින 2 ක් ගත වීමට පෙරමහජන සෞඛ්‍ය පරීක්ෂක සහ තාක්ෂණ නිලධාරි
නිර්දේශය අනුමතය සඳහා නාගරික කොමසාරිස් / සභාපති වෙත ඉදිරිපත් කිරීමනිර්දේශය තමන් වෙත ලැබුණු වහාමවිෂය භාර නිලධාරි
බලපත්‍රය නිකුත් කිරීම අනුමත කර ඇති විට, බලපත්‍රය සකස් කර / නැති විට, ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දන්වන ලිපිය නාගරික කොමසාරිස්ගේ / සභාපතිගේ අත්සනට ඉදිරිපත් කර, විනෝද බදු අය කර ගැනීමේ කාර්යය ආරම්භ කරන ලෙස ආදායම් පරීක්ෂක දැනුම්වත් කිරීමඅනුමතය ලැබුණු වහාමවිෂය භාර නිලධාරි
බලපත්‍රය / ප්‍රතික්ෂේප කිරීමේ ලිපිය අත්සන් කර විෂය භාර නිලධාරිට යොමු කිරීමකෙටුම්පත් ලිපිය තමන් වෙත ලැබුණු වහාමසභාපති
අන්තර්ජාලය ඔස්සේ හෝ පැමිණ ගාස්තුව ගෙවා බලපත්‍රය ලබා ගැනීම ඉල්ලුම්කරු
මුදල් අය කර ගෙන බලපත්‍රය සහ ලදුපත නිකුත් කිරීම සහ වටිනාකම ආදායම් ශීර්ෂයට බැර කර ලේඛන යාවත්කාලීන කිරීමමුදල් ගෙවූ වහාමපෙරටු කාර්යාල නිලධාරි

7.     බලපත්‍රය ලබාගෙන නැති අවස්ථාවේ පටිපාටිය

පටිපාටියකාල සීමාවඅධිකාරය
බලපත්‍රය ලබා ගන්නා තෙක් සැණකෙළිය පැවැත්වීම නතර කරන ලෙස වාචික ව සහ ලිඛිත ව සැණකෙළියේ සංවිධායකට නියම කිරීමසැණකෙළිය ආරම්භ කිරීමට පෙර / පවත්වාගෙන යනු ලබන අවස්ථාවේ දීසභාපති
සැණකෙළිය නතර කිරීමට දී ඇති නියමයට අනුගත වී නොමැති අවස්ථාවක, ඒ සැණකෙළිය නතර කිරීමට සහාය වන ලෙස පොලිස් ස්ථානයට වාර්තා කිරීමනියමය නිකුත් කර පැය 24 ක් ගත වීමට පෙරසභාපති
සැණකෙළිය නතර කිරීම සහ බලපත්‍රය ලබා ගැනීම තවදුරටත් පැහැර හැර ඇති අවස්ථාවක, මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා පත්‍රයක් ගොනු කිරීමනියමය නිකුත් කර පැය 48 කට පසුවසභාපති