ගොඩනැගිලි සැලසුම් සංවර්ධන බලපත්‍ර නිකුත් කිරීම

1.     හැඳින්වීම.

        පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීම් නියාමනය කිරීම සඳහා සම්මත කරන ලද නීති මගින් ඒ බල ප්‍රදේශය තුළ ජිවත් වන ජනතාවගේ සෞඛ්‍ය, සනීපාරක්ෂාව, පහසුව සහ සුබසාධනය නියාමනය කිරීමේ අධිකාර බලය පළාත් පාලන ආයතන වෙත පවරා දෙනු ලැබ ඇත. මේ අනුව,  පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත කෙරෙන සෑම ඉදිකිරීමක් ම සඳහා පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද ඉදිකිරීම් බලපත්‍රයක් යටතේ පමණක් සිදු කළ යුතු ය. මේ ඉදිකිරීම් බලපත්‍රය නිකුත් කිරීමේ දී සෞඛ්‍ය, සනීපාරක්ෂාව සහ පහසුව පිළිබඳ ව නියම කළ විධිවිධාන අනුගමනය කළ යුතු ය.

2.     නීතිමය අධිකාරය

        (අ)   268 අධිකාරය වන නිවාස හා නගර සංවර්ධන ආඥාපනත;

        (ආ)  නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතේ සාදන ලද රීති;

        (ඇ)  1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත;

        (ඈ)  නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ සාදන ලද අංක: 2235/54 හා 2021. 07. 08 දින අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝග.

3.     ඉදිකිරීම් බලපත්‍රයක වලංගුතාව

        (අ)   නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතට අයත් ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමකට අදාළ ගොඩනැගිලි ඉදිකිරීම් සැලැස්ම, ඒ ආඥාපනත යටතේ සාදන ලද රීතිවලට යටත් ව පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා විසින් අනුමත කර තිබිය යුතු ය. ප්‍රාදේශීය සභා සම්බන්ධයෙන් පමණක් මෙම ආඥාපනත යටතට අයත් වේ.

        (ආ)  1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් “නාගරික සංවර්ධන ප්‍රදේශයක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමක් වන විට සැලසුම් කමිටුවේ නිර්දේශ යටතේ ගොඩනැගිලි සැලැස්මේ මුහුණතෙහි ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලය පවරනු ලැබූ තැනැත්තා විසින් අනුමත කරන ලද බවට අත්සන් කරන ලද ඉදිකිරීම් බලපත්‍රයක් විය යුතු ය.

        (ඇ)  මේ කවර බලපත්‍රයක් වුව ද වලංගු වන්නේ බලපත්‍රය නිකුත් කළ දින සිට එක් වර්ෂයක කාලයක් සඳහා පමණි. ඒ කාලය තුළ ඉදිකිරීම් අවසන් කිරීමට නො හැකි වන්නේ නම්, අවස්ථා දෙකක දී තවත් වසරක් බැගින් වලංගු කාලය දීර්ඝ කර ගත හැකි ය. බලපත්‍රය නිකුත් කළ දින සිට වසර තුනක කාලය අවසාන වන තෙක් ඉදිකිරීම් අවසන් කිරීමට නො හැකි වුව හොත් අලුත් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කර ඉදිකිරීම් බලපත්‍රය ලබා ගත යුතු ය.

        (ඈ)  කිසියම් ඉදිකිරීම් බලපත්‍රයක් අනුමත කිරීමේ දී, නියම කර ඇති කොන්දේසි හෝ සීමා කිරීම් කිසිවක් වේ නම්, ඊට යටත් විය යුතු ය.

        (ඉ)   ඉදිකිරීම් බලපත්‍රයකින් අනුමත කරනු ලැබ ඇති කොටස්වලින් පරිබාහිර ව කරනු ලබන කිසිදු ඉදිකිරීමක් හෝ වෙනස් කිරීමක් සඳහා කවර හෝ ආකාරයක ඉඩ දීමක් නොකරනු ලබන අතර, ඒ සෑම ඉදිකිරීමක් ම හෝ වෙනස් කිරීමක් ම අනවසර ඉදිකිරීමක් සේ සලකනු ලැබේ.

               සටහන:    නිකුත් කළ බලපත්‍රය යටතේ ඉදි කරන ලද ගොඩනැගිල්ල භාවිතයට ගැනීමට පෙර අනුකූලතා සහතිකය ලබා ගත යුතු ය. (මේ සඳහා වන පටිපාටිය වෙනම දක්වා ඇත)

4.     සුදුසුකම්

        (අ)   අනුමතය ලබා දෙන පළාත් පාලන ආයතනයේ බල ප්‍රදේශය තුළ පවතින ඉඩමක් විය යුතුයි.

        (ආ)  අයදුම්කරු දේපළෙහි නීත්‍යනුකූල හිමිකරු විය යුතු ය. නැතහොත් ඔහුගෙන් බලය ලබා ගත් නියෝජිතයකු විය යුතු ය.

        (ඇ)  පළාත් පාලන ආයතනය විසින් (වරිපනම් අය කිරීමේ කලාපයක් තුළ පවතින ඉඩමක් වන විට) පවත්වාගෙන යනු ලබන තක්සේරු ලේඛනයෙහි අදාළ දේපළෙහි නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තාගේ නම ඇතුළත් වී තිබිය යුතු ය. (තක්සේරු ලේඛනයේ නම ඇතුළත් කර ගැනීම සඳහා දේපළ හිමිකම ලියා පදිංචි කර ගැනීමේ පටිපාටිය බලන්න)

        (ඈ)  (i)   නිවාස හා නගර සංවර්ධන ආඥාපනත අදාළ වන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, නිවාස හා නගර සංවර්ධන ආඥාපනතේ උප ලේඛනයේ දැක්වෙන රීති අනුව ඉදිකිරීම් සැලැස්ම ඇඳ තිබිය යුතු ය.

               (ii)  නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ සාදන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල දක්වා ඇති නියම අනුව අඳින ලද ඉදිකිරීම් සැලැස්මක් තිබිය යුතු අතර, අදාළ ඉඩමේ පිඹුර ඒ නියෝගවලට අනුව අනුමත කර තිබිය යුතු ය.

5.     ගාස්තු

        (අ)   පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කරනු ලබන ඉල්ලුම් පත්‍ර ගාස්තුව.

               සටහන: 1.  පළාත් පාලන ආයතනය විසින් මෙම ගාස්තුව මුද්‍රණ වියදම් පියවා ගැනීමට පමණක් සීමා වන පරිදි තීරණය කරනු ලැබිය යුතු ය.

                           2.  මාර්ගගත ක්‍රමයෙන් ලබා ගන්නා ඉල්ලුම් පත්‍ර සඳහා ගාස්තු අය කිරීම නොකළ යුතු ය.

        (ආ)  ගොඩනැගිලි ඉදිකිරීම් බලපත්‍ර ඉල්ලුම් පත්‍රයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පළාත් පාලන ආයතනය විසින් අය කරනු ලබන ගාස්තු (පෙරසැරි ගාස්තු) 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 වන උපලේඛනයේ දැක්වෙන ආකාරයට විය යුතු ය. මෙම ගාස්තු වෙනස් කිරීමේ හෝ සංශෝධනය කිරීමේ නීතිමය බලය ඇත්තේ නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා වෙත බැවින් කලින් කල කරනු ලබන සංශෝධන පිළිබඳ ව අවධානයෙන් සිටීම වැදගත් වනු ඇත. මෙම ගාස්තු චක්‍රය මහජනතාවට පරිශීලනය කළ හැකි වන පරිදි තබා තිබීමට ද ක්‍රියා කළ යුතු ය.

               සටහන්: (i)   නාගරික සංවර්ධන ප්‍රදේශයකින් බැහැර ප්‍රදේශයක කෙරෙන ඉදිකිරීමක් වන විට, අය කරනු ලබන ගාස්තු ප්‍රමාණය, සභාව විසින් කලින් කල තීරණය කරනු ලබන පරිදි විය යුතු ය.

                           (ii)  මෙම ගාස්තු ප්‍රමාණය තීරණය කිරීමේ දී, නාගරික සංවර්ධන ප්‍රදේශයක දී අය කිරීමට නියමිත ගාස්තු ඉක්මවා අය කිරීමෙන් වැළකී සිටිය යුතු ය.

6.     ඉදිරිපත් කළ යුතු ලේඛන

        ඉල්ලුම්කරු කිරීමට අදහස් කරනු ලබන සංවර්ධනයේ ස්වභාවය අනුව. නාගරික සංවර්ධන ප්‍රදේශයකට අදාළ වන ඉල්ලුම් පත්‍රය, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ “ඇ” ආකෘතියේ ඉල්ලුම් පත්‍රය සමග “ඇ” ආකෘතියේ – ඇමුණුම I, “ඇ” ආකෘතියේ – ඇමුණුම II, “ඇ” ආකෘතියේ – ඇමුණුම III, “ඇ” ආකෘතියේ – ඇමුණුම IV, “ඇ” ආකෘතියේ – ඇමුණුම V, “ඇ” ආකෘතියේ – ඇමුණුම VI, “ඇ” ආකෘතියේ – ඇමුණුම VII සහ 3 වන උපලේඛනයේ සඳහන් කර ඇති අදාළ වන තැනැත්තකු විසින් නිකුත් කළ සහතිකයක් ද සමග නිවැරදිව සම්පූර්ණ කර ඒ සමග ඉදිරිපත් කළ යුතු ය. සංවර්ධනයේ ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයට අමුණා තිබිය යුතු ලේඛන පිළිබඳ තොරතුරු අදාළ ඉල්ලුම් පත්‍රයේ ම දක්වා ඇත.

        ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීමට ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම් පත්‍ර මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගෙන්වා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිපාදන සලස්වා ඇත. පළාත් පාලන ආයතන ද ඒ ආකාරයෙන් ම ක්‍රියා කිරීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් වේ.

        සටහන:  1.  අයදුම්කරු ගේ නම අදාළ දේපළේ හිමිකරු ලෙසට වරිපනම් ලේඛයේ ඇතුළත් ව නොමැති නම් ඉදිකිරීම් බලපත්‍ර ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට පෙර වරිපනම් ලේඛනයේ අදාළ සංශෝධන සිදු කර ගත යුතු ය.

                     2.  නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට යටත් වන ප්‍රදේශයක් වන විට මෙහි පහත දැක්වෙන ඇමුණුම් අංක 01 ආකෘතිය සහ එහි සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතු ය.

                     3.  ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීමේ දී, ඉදිකිරීමට අදාළ සැලසුම් පිළියෙළ කළ ගෘහ නිර්මාණ ශිල්පී හෝ වෙනත් යම් වෘත්තිකයා සම්බන්ධ කර ගැනීමෙන් වැරදීම් අවම කර ගත හැකි ය.

7.     කාර්ය පටිපාටිය

පටිපාටියකාල සීමාවඅධිකාරිය
ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම (පෙරටු කාර්යාලයෙන් හෝ සභාවේ වෙබ් අඩවියෙන්)  ඉල්ලුම්කරු
සුදුසුකම් ලැබූ තැනැත්තා විසින් සහතික කළ නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය භාර ගැනීම, පෙරසැරි ගාස්තුව අය කර ගැනීම, ලදුපත නිකුත් කිරීම, ඉල්ලුම් පත්‍රය භාර ගත් බව, ලියා පදිංචි අංකය හා ක්ෂේත්‍ර පරීක්ෂණයට පැමිණෙන දිනය ඉල්ලුම්කරුට නිවේදනය කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි
ඉල්ලීම විෂය භාර නිලධාරි මගින් තාක්ෂණ නිලධාරි වෙත යොමු කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි
ක්ෂේත්‍ර පරීක්ෂණයට පැමිණෙන දිනය තහවුරු කරන නිවේදනය ඉල්ලුම්කරුට යොමු කිරීමඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබුණු වහාමතාක්ෂණ නිලධාරි
ක්ෂේත්‍ර පරීක්ෂාවනියම කර ගත් දිනයේ දීතාක්ෂණ නිලධාරි
ඉල්ලීම සම්බන්ධ තම නිරීක්ෂණ හා නිර්දේශ සහිත ගොනුව සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා විෂය භාර නිලධාරිට යොමු කිරීමක්ෂේත්‍ර පරීක්ෂාව කළ දිනයේ දී මතාක්ෂණ නිලධාරි
තාක්ෂණ නිලධාරීගේ නිර්දේශය සහිත ඉල්ලීම සලකා බලා අනුමත කිරීමනියම කර ගෙන ඇති සැලසුම් කමිටු දිනයේ දීසැලසුම් කමිටුව
සංවර්ධන බලපත්‍රය පිළියෙළ කර බලයලත් නිලධාරියාගේ අත්සන ලබා ගැනීමසැලසුම් කමිටුව රැස් වූ දින සිට දින දෙකක් ඇතුළතවිෂය භාර නිලධාරි
අත්සන් කළ සහතිකය පෙරටු කාර්යාලයට යොමු කිරීම සහ දේපළෙහි වාර්ෂික වටිනාකම තක්සේරු කිරීම සඳහා ආදායම් අංශයට වාර්තා කර ඉල්ලුම්කරු දැනුම්වත් කිරීමසැලසුම් කමිටුව රැස් වූ දින සිට දින දෙකක් ඇතුළතවිෂය භාර නිලධාරි
සංවර්ධන බලපත්‍රය සහ අනුමත කළ සැලැස්ම ඉල්ලුම්කරුට යොමු කිරීමඉල්ලුම්කරු පැමිණියේ නම්, ඒ අවස්ථාවේ දී හෝ තැපෑලෙන් සහ විද්‍යුත් ලේඛනයක ස්වරූපයෙන්පෙරටු කාර්යාල නිලධාරි

        සටහන: තාක්ෂණ නිලධාරියාගේ / නිලධාරීන්ගේ මාසික ඉදිරි වැඩසටහන අනුව ස්ථානීය පරීක්ෂණය සඳහා දින වෙන් කිරීමටත් ඊට සහාය කර ගැනීමට පහසු වන පරිදි ඔවුන්ගේ මාසික ඉදිරි වැඩසටහනේ අනුමත කළ පිටපතක් බැගින් කාල වේලා ඇතිව පෙරටු කාර්යාලයට ලැබෙන ආකාරයේ වැඩ පිළිවෙළක් පවත්වා ගත යුතු ය. ක්ෂේත්‍ර නිලධාරීන්ගේ මාසික ඉදිරි වැඩසටහන් අදාළ තැනැත්තන්ගේ පහසු පරිශීලනය සඳහා මාර්ග ගත ක්‍රමයෙන් ලබා ගැනීමට අවශ්‍ය වැඩ පිළිවෙළ ඇති කිරීමට පළාත් පාලන ආයතන විසින් ක්‍රියා කළ යුතු ය.

8.     බලපත්‍රයේ සඳහන් කොන්දේසිවලට පටහැණි ව කෙරෙන ඉදිකිරීමක් හෝ අනවසර ඉදිකිරීමක් නිසා ඇති වන නීතිමය ප්‍රතිවිපාක.

        බලපත්‍රයක් ලබා නො ගෙන කරන ලද ඉදිකිරීමක් හෝ නිකුත් කළ බලපත්‍රයේ කොන්දේසිවලට පටහැණි ව සිදු කරන ලද සෑම ඉදිකිරීමක් ම අනවසර ඉදිකිරීමක් ලෙස අර්ථ නිරූපණය ඇත. මෙවැනි සෑම අනවසර ඉදිකිරීමක් ම කඩා ඉවත් කරන ලෙස නාගරික කොමසාරිස් / සභාපතිවරයා විසින් නියෝග නිකුත් කරනු ඇත. එම නියෝගයට අනුගත නොවන සෑම අවස්ථාවක ම, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 28අ වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ඇත. මහේස්ත්‍රාත්වරයා විසින් අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට නියෝගය ලබා දෙනු ඇත.