වරිපනම් අය කිරීම

1.    හැඳින්වීම‍

        ප්‍රාදේශීය සභාවක් විසින් තම බල ප්‍රදේශය ඇතුළත පිහිටි යම් භූගෝලීය ප්‍රදේශයක් ප්‍රාදේශීය පළාත් පාලන සහකාර කොමසාරිස්ගේ අනුමැතිය ඇතිව දියුණු කළ ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශය සඳහා එකී ප්‍රාදේශීය සභාව විසින් ද කිසියම් මහා නගර සභාවක් හෝ නගර සභාවක් විසින් ද ස්වකීය බල ප්‍රදේශය තුළ ගාස්තු අය කිරීමකින් තොරව සපයනු ලබන සේවාවන් සඳහා දරනු ලබන වියදම් ප්‍රතිපූරණය කර ගැනීම පිණිස පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව එකී පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන අනුපාතයක් යටතේ අය කරන ගාස්තුව, වරිපනම් යනුවෙන් හඳුන්වනු ලැබේ. එවැනි ප්‍රදේශයක් ඇතුළත සේවා සැපයීමට දරනු ලබන මුළු වියදම සහ එම ප්‍රදේශයේ ඇති එක් එක් දේපළෙහි වාර්ෂික වටිනාකම්වල එකතුව අතර අනුපාතය (ප්‍රතිශතය), එවැනි යම් දේපළක වාර්ෂික වටිනාකමෙන් ගුණ කිරීමෙන් ගණනය කරන මුදල එම දේපළ වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික වරිපනම වනු ඇත. ඉහත ආකාරයෙන් පළාත් පාලන ආයතනය විසින් මෙම ප්‍රතිශතය වාර්ෂිකව ගණනය කර තීරණය කරනු ලැබේ. වරිපනම් යනු බද්දක් නොවේ.

2.    නෛතික අධිකාරිය

        1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තියෙන් එම ආයතනවලට නියම කර ඇති කාර්ය හා කර්තව්‍යය කිරීමේ දී හා ඉටු කිරීමේ දී දරනු ලබන වියදම ප්‍රතිපූරණය කර ගැනීමට –

        (අ)   ප්‍රාදේශීය සභා පනතේ 134 වන වගන්තියෙන් ප්‍රාදේශීය සභාවලට වරිපනම් නියම කර අය කර ගැනීමට බලය පැවරී ඇත.

3.    සුදුසුකම් / අදාළ වීම

        (අ)   කිසියම් පළාත් පාලන ආයතනයක වරිපනම් අය කිරීමට යටත් ප්‍රදේශයක පිහිටා ඇති හා එම ආයතනය විසින් තීරණය කරනු ලබන යම් නිශ්චල හෝ නිශ්චල දේපළ වර්ගයකට දේපළක් විය යුතු ය.

        (ආ)  එකී යම් දේපළක අයිතිකරු හෝ පදිංචිකරු මෙම වරිපනම් ගෙවීමට යටත් විය යුතු ය. (දේපළෙහි පදිංචිකරු එකී දේපළෙහි අයිතිකරු වුව ද නොවුන ද එහි පදිංචිකරු – සභාව විසින් සපයනු ලබන සේවාවෙන් ප්‍රයෝජන ලබන තැනැත්තා – වරිපනම් ගෙවීමට යටත් තැනැත්තා විය යුතු ය)

4.    ගෙවිය යුතු ගාස්තුව

        (අ)   පළාත් පාලන ආයතනය විසින් දේපළෙහි අයිතිකරුට හෝ පදිංචිකරුට නිකුත් කරනු ලබන තක්සේරු නිවේදනයෙහි දැක්වෙන මුදල ගෙවිය යුතු ය.

        (ආ)  තක්සේරු නිවේදනය බාරදෙන අවස්ථාව වන විට කලින් ගෙවිය යුතු වරිපනම් හිඟයක් වේ නම්, එම මුදල කොපමණ ද යන්න එහි සඳහන් කර ඇත. එම හිඟ මුදල ද පියවිය යුතු ය.

        (ඇ)  මෙම වාර්ෂික වරිපනම එකවර හෝ කාර්තු පදනමෙන් ගෙවීමට අවස්ථාව ඇත.

        (ඈ)  කිසියම් දේපළක් වෙනුවෙන් ගෙවිය යුතු වරිපනම් ප්‍රමාණයෙන් මුළු වර්ෂයට ම අදාළ මුදල නියමිත වර්ෂයේ ජනවාරි මස 31 දිනට පෙර ගෙවනු ලබන්නේ නම්, එම මුළු මුදලෙන් 10 % ක වට්ටමක් ලබා ගැනීමට වරිපනම් ගෙවන්නාට හිමිකම ඇත. (එම වට්ටම ලබා ගත හැකි වන්නේ වර්ෂය ආරම්භ වීමට පෙර පැවති හිඟයක් වේ නම්, එම හිඟය ද ඒ අවස්ථාවේ දී ම පියවන්නේ නම් පමණි)

        (ඉ)   එසේම වර්ෂයේ කිසියම් කාර්තුවකට අදාළ වරිපනම, එම කාර්තුවේ පළමු මාසය අවසන් වීමට පෙර ගෙවනු ලබන්නේ නම් එම කාර්තුවට අදාළ මුදලෙන් 5% ක වට්ටමක් ලබා ගැනීමට වරිපනම් ගෙවන්නාට හිමිකම ඇත. (එම වට්ටම ගෙවීමේ දී ද පූර්ව කාලයට අදාළ ව හිඟ ඇත්නම් පියවීමට යටත් විය යුතු ය)

5.    ඉදිරිපත් කළ යුතු ලේඛන

        (අ)   පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද තක්සේරු නිවේදනය.

        (ආ)  තක්සේරු නිවේදනය නොමැති යම් අවස්ථාවක, අදාළ දේපළෙහි පිහිටීම (පාර, වරිපනම් අංකය, ලිපිනය) දැක්වීමෙන් මෙම තොරතුරු හඳුනා ගැනීමට පෙරටු කාර්යාල නිලධාරියාට පහසු වනු ඇත.

6.    කාර්යය පටිපාටිය

කාර්ය පියවරකාල සීමාවඅධිකාරිය
තක්සේරු නිවේදන මුද්‍රණය කරවීමසෑම වර්ෂයක ම ඔක්තෝබර් 31 ට පෙරලේකම්
තක්සේරු පොත ප්‍රදර්ශනයට තබා තිබෙන බවට සහ තක්සේරු විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ගැසට් පත්‍රයේ සහ පුවත්පත්වල නිවේදනය කිරීමසෑම වර්ෂයක ම ඔක්තෝබර් 31 ට පෙරසභාපති  
තක්සේරු පොත මහජන ප්‍රදර්ශනයට තැබීම සහ තක්සේරු විරෝධතා ලේඛනය මහජනතාවට විවෘත කර තැබීමසෑම වර්ෂයක ම නොවැම්බර් 01 සිට ජනවාරි 31 දක්වාලේකම්
තක්සේරු නිවේදනය දේපළෙහි අයිතිකරුට හෝ පදිංචිකරුට භාර දීමට සැලැස්වීමසෑම වර්ෂයක ම දෙසැම්බර්  31 ට පෙරලේකම්
තක්සේරු නිවේදනය ඉදිරිපත් කරමින් හෝ දේපළ සම්බන්ධ විස්තර දක්වමින් වරිපනම් ගෙවීමට ඉදිරිපත් වීම නැතහොත් අන්තර්ජාලය මගින් ගෙවීම් කිරීම දේපළෙහි අයිතිකරු හෝ පදිංචිකරු
අදාළ දේපළ හඳුනා ගෙන ගෙවීමට ඇති වරිපනම් මුදල් ප්‍රමාණය දැනුම් දීමගෙවීමට ඉදිරිපත් වූ අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි
ගෙවීමට එකඟ වූ මුදල් ප්‍රමාණයට සරිලන වට්ටම් සලකා බල අදාළ මුදල අය කර ගෙන ලදුපත නිකුත් කිරීමමුදල් ලබා ගත් අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි
වරිපනම් ලේඛනය යාවත්කාලීන කිරීම1.   පරිගණක මෘදුකාංගයේ ඒ අවස්ථාවේ දීම 2.   එසේ නොවන විට මුදල් ගෙවූ දින සිට සතියක් ඇතුළත1.  පෙරටු කාර්යාල නිලධාරි     2.  විෂය භාර නිලධාරි

        සටහන:  1.     දේපළෙහි තක්සේරුවට විරෝධතා ඉදිරිපත් කර තිබුණේ වුව ද, වර්ෂයට අදාළ වරිපනම් ගෙවීමට දේපළෙහි අයිතිකරු හෝ පදිංචිකරු යටත් වේ.

7.    වරිපනම් ගෙවීම පැහැර හැරීමේ ප්‍රතිවිපාක

        (අ)   කිසියම් වරිපනම් කලාපයක පිහිටා ඇති නිශ්චල දේපළක් හෝ නිශ්චල දේපළ වර්ගයක් මත පළාත් පාලන ආයතනය විසින් නියම කරනු ලබන වරිපනම්, එම ආයතනය විසින් නියම කරනු ලබන කාලය ඇතුළත දී එම පළාත් පාලන ආයතනයට ගෙවීමට අයිතිකරු හෝ පදිංචිකරු යටත් වේ. නියමිත කාලය ඇතුළත එම වරිපනම් ගෙවීමට යම් තැනැත්තකු අපොහොසත් වන්නේ නම්, එම හිඟ මුදල් අය කර ගැනීම සඳහා සභාවේ නිලධරයකුගේ හෝ යම් බදු එකතු කරන්නකුගේ නමට විනිග්‍රහන බලපත්‍රයක් නිකුත් කිරීමට  ලේකම්ට නීතිමය බලය ඇත.

        (ආ)  ලේකම් විසින් එවැනි බලපත්‍රයක් නිකුත් කරනු ලැබූ විට, එම බලපත්‍රය ලැබූ තැනැත්තා විසින් අදාළ දේපළ මත තිබෙන කවර හෝ තැනැත්තකුට අයත් සියලු ම චංචල දේපළ තහනමට ගෙන විකුණා අය විය යුතු මුදල් ප්‍රමාණය අය කර ගෙන පළාත් පාලන ආයතනයේ අරමුදලට තැන්පත් කිරීම ද නීත්‍යනුකූල වේ.

        (ඇ)  මෙසේ කිසියම් චංචල දේපළක් තහනමට ගැනීමට විනිග්‍රහන බලපත්‍රයක් නිකුත් කිරීමේ ගාස්තුව වශයෙන් පහත පරිදි මුදලක් ද අය කර ගැනීමට බලය ඇත.

               i.      වරිපනම් හිඟය අදාළ වන දේපළ නේවාසික ස්ථානයක් හෝ හිස් ඉඩමක් වන විට, අය විය යුතු මුදලෙන් 15% ක ප්‍රමාණයක්; හෝ

               ii.     වරිපනම් හිඟය අදාළ වන දේපළ නේවාසික ස්ථානයක් හෝ හිස් ඉඩමක් නොවන වෙනත් වර්ගයක දේපළක් වන විට, අය විය යුතු මුදලෙන් 20% ක ප්‍රමාණයක්.

        (ඈ)  එසේම චංචල දේපළ තහනමට ගැනීමේ ගාස්තු වශයෙන් අය විය යුතු මුදල් ප්‍රමාණයෙන් 10% ක අතිරේක ගාස්තුවකට ද වරිපනම් ගෙවීමට බැඳී සිටින තැනැත්තා යටත් වනු ඇත.         (ඉ)   තවදුරටත් එසේම, තහනමට ගත හැකි චංචල දේපළ කිසිවක් නොමැති අවස්ථාවක අදාළ නිශ්චල දේපළ තහනමට ගෙන විකිණීමට ද නීතිමය බලය ලැබී ඇත.