ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශන අවසර පත්‍ර නිකුත් කිරීම
1. හැඳින්වීම
(අ) යම් ප්‍රසිද්ධ ස්ථානයක සිට බැලූ විට පෙනෙන පරිදි, මහජනතාව වෙත කිසියම් පණිවුඩ සන්නිවේදනය කිරීමක් සඳහා පුවරුවක හෝ බැනරයක ආධාරයෙන් ප්‍රදර්ශනය කරනු ලබන දැන්වීම්වලින් දෘශ්‍ය පරිසරයට සිදු විය හැකි බාධා හෝ හානි වළක්වාලීමේ අරමුණ ඇතිව ප්‍රචාරක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම නියාමනය කිරීමට පළාත් පාලන ආයතන විසින් අතුරු ව්‍යවස්ථා සාදනු ලැබ ඇත.
(ආ) දැන්වීමක් හෝ පණිවුඩයක් හෝ තැනැත්තන් වෙත සන්නිවේදනය කිරීම සඳහා රූප හෝ වචන හෝ වෙනත් කවර හෝ ආකාරයක සංඥා හෝ යොදා ගනිමින් කවර වූ හෝ පොදු ස්ථානයක සිට බැලූ විට පෙනෙන පරිදි කිසියම් තැනක සවි කරන ලද හෝ එල්ලා තබන ලද හෝ අලවා තබන ලද නැතහොත් ප්‍රදීප්ත පුවරුවක් වශයෙන් ප්‍රදර්ශනය කරනු ලබන, මුද්‍රණය කරන ලද හෝ අතින් අඳින ලද හෝ විද්‍යුත් හෝ වෙනත් ආකාරයක ආලෝක සංඥා හෝ වෙනත් කවර හෝ ආකාරයකින් ප්‍රදර්ශනය කරනු ලබන සන්නිවේදනයක් ප්‍රචාරක දැන්වීමක් වශයෙන් හඳුන්වනු ලැබේ.
(ඇ) “පොදු ස්ථානය” යන්නට, යම් වීදියක්, පාරක්, ඇලක්, වැවක්, මුහුද, අහස හෝ රජයට හෝ පළාත් පාලන ආයතනයට අයත් කිසියම් ස්ථානයක හෝ මහජනතාව පරිහරණය කරනු ලබන යම් වෙනත් පොදු ස්ථානයක් අදහස් වේ.
(ඈ) ඉහත කී කවර හෝ ආකාරයක ප්‍රචාරක දැන්වීමක් සහ එය ප්‍රදර්ශනය කරන ස්ථානය, අතුරු ව්‍යවස්ථාවල විධිවිධාන අනුගමනය කර තිබෙන බවට පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරනු ලබන සහතිකය, මේ කාර්යයේ දී “අවසර පත්‍රය” යනුවෙන් අදහස් වේ.
සටහන: 1. පහත දැක්වෙන යම් කාරණයකට අදාළ ව ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් සඳහා ගාස්තු ගෙවීමේ සහ අවසර පත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් වේ.
ප්‍රතිදීප්ත ප්‍රචාරක දැන්වීමක් හෝ ගුවන් පුවරුවක් නොවන –
(අ) “කුලියට දීමට තිබේ” යන්න හෝ “විකිණීමට තිබේ” යනුවෙන් වූ ප්‍රචාරක දැන්වීමක්;
(ආ) ගෘහ නාම පුවරු හෝ වර්ග මීටර් 0.093 (වර්ග අඩි 1) නො ඉක්මවන වෘත්තිය කටයුත්තකට අදාළ දැන්වීමක්;
(ඇ) වෙළෙඳ කටයුත්තක් සඳහා යොදා ගන්නා වාහනයක ප්‍රදර්ශනය කරනු ලබන ඒ ව්‍යාපාරයේ ස්වභාවය, අයිතිකරුගේ නම, ලිපිනය හා දුරකථන අංක දැක්වෙන ප්‍රචාරක දැන්වීමක්.
2. පහත දැක්වෙන යම් කාරණයකට අදාළ ව ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් සඳහා ගාස්තු අය කිරීමේ අවශ්‍යතාවෙන් නිදහස් වන නමුත් අවසර පත්‍රයක් ලබා ගැනීමට යටත් විය යුතු ය.
ප්‍රතිදීප්ත ප්‍රචාරක දැන්වීමක් හෝ ගුවන් පුවරුවක් නොවන –
(අ) ශුද්ධ ලාභය පුණ්‍ය කටයුත්තක් සඳහා යොදවන යම් ප්‍රසංගයක දැන්වීමක්;
(ආ) කිසියම් ප්‍රසංගයක් පවත්වන ස්ථානයේ සවි කරනු ලබන ඒ ප්‍රසංගයට අදාළ ප්‍රචාරක දැන්වීමක්;
(ඇ) ආගමික, දේශපාලනික හෝ මහජන රැස්වීමක් පිළිබඳ දැන්වීමක්
3. කිසියම් ප්‍රචාරණ කාර්යයක් සඳහා ප්‍රදර්ශනය කරන පෝස්ටර් සඳහා අවසර පත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් වන නමුත් එවැනි යම් පෝස්ටරයක්, ඇලවීම සඳහා වෙන් කර ඇති ස්ථානයක හැර වෙනත් ස්ථානයක අලවා තැබීම වරදක් වේ.
2. නීතිමය අධිකාරය
කිසියම් පළාත් පාලන ආයතනයකට ලැබී ඇති බලය යටතේ සාදන ලද හෝ ඒ යටතේ සාදන ලදැයි සලකනු ලබන, ප්‍රචාරක දැන්වීම් හා දෘශ්‍ය පරිසරය පිළිබඳ අතුරු ව්‍යවස්ථා.
3. ගාස්තු
අදාළ අතුරු ව්‍යවස්ථා යටතේ පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කරනු ලැබ, ඒ පිළිබඳ ව ගැසට් පත්‍රයේ නිවේදනය කරනු ලබන ප්‍රමාණයේ ගාස්තුවක් ගෙවිය යුතු ය.
4. ඉදිරිපත් කළ යුතු ලේඛන
(අ) මෙහි උප ලේඛනයේ දැක්වෙන ආකෘතියට අනුව පිළියෙළ කර නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
(ආ) A 4 ප්‍රමාණයේ කඩදාසියක මුද්‍රණය කරන ලද හෝ අතින් අඳින ලද (යොදා ගන්නා වර්ණ ද පෙන්නුම් කරන), ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන ප්‍රචාරක දැන්වීමෙහි සමරූපී ආදර්ශයක්;
(ඇ) කිසියම් මාර්ගයක රක්ෂිතයේ සවි කර ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීම් පුවරුවක් වන විට අදාළ වන පරිදි ඒ මාර්ගයේ අයිතිය ඇති මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය හෝ පළාත් පාලන ආයතනය විසින් ඒ සඳහා දෙන ලද අවසරය;
(ඈ) අදාළ ප්‍රචාරක දැන්වීම් පුවරුව ප්‍රදර්ශනය කරන ස්ථානය අයත් වන පොලිස් ස්ථානයේ රථ වාහන අංශය විසින් එකඟතාව පළ කළ ලිපියේ පිටපතක් ඉදිරිපත් කල යුතු ය.
(ඉ) කිසියම් පෞද්ගලික ඉඩමක හෝ ගොඩනැගිල්ලක සවි කරනු ලබන හෝ ප්‍රදර්ශනය කරනු ලබන ප්‍රචාරක දැන්වීමක් වන විට, ඒ ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ අයිතිකරු හෝ අයිතිකරුවන් විසින් ඒ සඳහා ඉඩ දීමට කැමැත්ත ප්‍රකාශිත ලිපියේ පිටපතක්.
සටහන: සභාවේ වෙබ් අඩවිය ඔස්සේ හෝ පෙරටු කාර්යාලයට පැමිණ ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම හා භාර දීම කළ හැකි ය.
5. පටිපාටිය
| පටිපාටිය | කාල සීමාව | අධිකාරය |
| අන්තර්ජාලය ඔස්සේ හෝ පෙරටු කාර්යාලයට පැමිණ ප්‍රචාරක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය සඳහා වන ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම | ඉල්ලුම්කරු | |
| අදාළ ඇමුණුම් ද සමඟ සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය, අන්තර්ජාලය ඔස්සේ හෝ පෙරටු කාර්යාලයට පැමිණ භාර දීම | ප්‍රචාරක දැන්වීම ස්ථාපිත කිරීමට දින 7 කට පෙර | ඉල්ලුම්කරු |
| ඉල්ලීම, අතුරු ව්‍යවස්ථාවේ නියම සමග සැසඳෙන්නේ ද යන්න පරීක්ෂා කර බලා ඉල්ලුම්කරුට පසු විපරම් අංකයක් නිකුත් කිරීම | ඉල්ලුම් පත්‍රය භාර ගත් වහාම | පෙරටු කාර්යාල නිලධාරි |
| ඉල්ලීම, අතුරු ව්‍යවස්ථාවේ නියම සමග සැසඳෙන්නේ ද යන්න පරීක්ෂා කර බලා අය කර ගත යුතු ගාස්තුව පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට ආදායම් පරීක්ෂකට යොමු කිරීම | ඉල්ලුම් පත්‍රය භාර ගත් අවස්ථාවේ දී ම | පෙරටු කාර්යාල නිලධාරි |
| අතුරු ව්‍යවස්ථාවේ නියමවලට අනුගත වීම පරීක්ෂා කර බලා අය කර ගත යුතු අවසර පත්‍ර ගාස්තුව පිළිබඳ නිර්දේශය විෂය භාර නිලධාරි මගින් නාගරික කොමසාරිස් / ලේකම් වෙත යොමු කිරීම | ඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබුණු වහාම | ආදායම් පරීක්ෂක |
| අවසර පත්‍රය නිකුත් කිරීම පිළිබඳ නිර්දේශය අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ තීරණය විෂය භාර නිලධාරි වෙත නිකුත් කිරීම | නිර්දේශිත ඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබුණු දින ම | ලේකම් |
| ඉල්ලීම අනුමත කර ඇත්නම්, අදාළ අවසර පත්‍රය සකස් කර නාගරික කොමසාරිස්ගේ / ලේකම්ගේ අත්සන ලබා ගෙන පෙරටු කාර්යාලයට යොමු කර ගෙවිය යුතු මුදල ඉල්ලුම්කරුට දැනුම් දීම | අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය තමන් වෙත ලැබුණු දින | විෂය භාර නිලධාරි |
| අන්තර්ජාලය ඔස්සේ හෝ පැමිණ අදාළ ගාස්තුව ගෙවා අවසර පත්‍රය ලබා ගැනීම | ඉල්ලුම්කරු | |
| මුදල අය කර ගෙන අවසර පත්‍රය සහ ලදුපත නිකුත් කිරීම සහ වටිනාකම ආදායම් ශීර්ෂයට බැර කර ලේඛන යාවත්කාලීන කිරීම | මුදල අය කර ගත් වහාම | පෙරටු කාර්යාල නිලධාරි |
සටහන: ප්‍රචාරක දැන්වීම් පුවරු ස්ථාන ගත කිරීමේ දී හා නඩත්තු කිරීමේ දී පහත සඳහන් කරුණු සැලකිල්ලට ගත යුතු ය.
(අ) සියලු ම ප්‍රචාරක දැන්වීම් පුවරුවල අවසර පත්‍ර අංකය සහ අවසර පත්‍රය නිකුත් කළ දිනය සටහන් කර තිබිය යුතු ය.
(ආ) අවසර පත්‍ර හිමියාගේ නම සහ දුරකථන අංකය ප්‍රචාරක දැන්වීමේ පැහැදිලිව සඳහන් විය යුතු ය.
(ඇ) ප්‍රචාරක දැන්වීම මගින් බාහිර පාර්ශවයකට සිදු විය හැකි අනතුරු ඇති වීම වළක්වාලීමට අවශ්‍ය වැඩ පිළිවෙළ යෙදිය යුතු ය.
(ඈ) රියදුරන්ගේ අවධානයට බාධා නොවන පරිදි ප්‍රචාරක දැන්වීම් ස්ථාන ගත කළ යුතු ය. උදා: මාර්ග හරහා බැනර ප්‍රදර්ශනය නො කල යුතු අතර රියදුරන්ගේ මාර්ග අවධානයට සිදු විය හැකි බාධා වැළැක්වීය යුතු ය.
(ඉ) ලේකම් විසින් විශේෂයෙන් කරනු ලැබූ නියම කිසිවක් වේ නම්, ඒවා පිළිපැදිය යුතු ය.
