දේපළ හිමිකම ලියා පදිංචි කිරීම හා සංශෝධනය කිරීම

1.     හැඳින්වීම

        ඕනෑම පළාත් පාලන ආයතනයක් විසින් නියම කර අය කර ගනු ලබන වරිපනම් හෝ ප්‍රාදේශීය සභාවක් විසින් නියම කර අය කර ගනු ලබන අක්කර බදු කාර්යය සඳහා අවස්ථාවෝචිත පරිදි යම් දේපළක වාර්ෂික වටිනාකම් තීරණය කිරීම හෝ යම් ඉඩමක විශාලත්වය තක්සේරු කිරීම සඳහා ඒ පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පිහිටි සියලු දේපළ පිළිබඳ තොරතුරු ලේඛන ගත කර පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි.

        එසේම, ඒ යම් දේපළක අයිතිකරු හෝ පදිංචිකරු නිශ්චිතව දැන ගෙන සිටීම මේ කාර්යය තවදුරටත් පහසු කරනු ඇති අතර එම යම් දේපළක් සම්බන්ධයෙන් තැනැත්තන් පළාත් පාලන ආයතනය සමග කටයුතු කිරීමේ දී ඒ දේපළවල අයිතිය පළාත් පාලන ආයතනයේ ලියා පදිංචි කර තිබීම දෙපාර්ශවයට ම පහසු වේ. මෙම දේපළවල අයිතිය ඇතැම් අවස්ථාවල දී හුවමාරු වන බැවින් එසේ අයිතිය වෙනස් වූ විට, ඒ පිළිබඳ වෙනස් වීම ද පළාත් පාලන ආයතනයේ ලියා පදිංචි කර තිබීම ඉහත ආකාරයෙන් ම වැදගත් වේ.

2.     නීතිමය අධිකාරය

        (අ)  1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 139 වන වගන්තිය සහ 141 වන වගන්තිය.

3.     සුදුසුකම්

        අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පිහිටි දේපළක හිමිකරුවකු වීම.

4.     ගාස්තුව

        පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කර නියම කරනු ලබන –

        (අ)   මුද්‍රණය කර සපයනු ලබන ඉල්ලුම් පත්‍ර ගාස්තුවක්; සහ

        (ආ)  අදාළ කාර්ය සඳහා වන පෙරසැරි ගාස්තුව,

        පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ය.

5.     සැපයිය යුතු ලේඛන

        (අ)   ආකෘතියට අනුව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයේ පිටපත් 2 ක්.

        (ආ)  ඉල්ලුම් පත්‍රයේ සපයා ඇති උපදෙස්වලට අනුව දක්වා ඇති සියලු ලේඛන ඉල්ලුම් පත්‍රයට අමුණා තිබිය යුතු ය.

        සටහන: 1.  ඉල්ලුම් පත්‍රයේ 15 වන ඡේදයෙහි දැක්වෙන, 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතට අනුව ඉදිරිපත් කළ යුතු ප්‍රකාශය නිවැරදිව සම්පූර්ණ කර තිබීම (අනවශ්‍ය වචන ඉවත් කරමින්) අනිවාර්ය වේ.

                    2.  ඒ කොටස සම්පූර්ණ නො කිරීම හේතුවෙන් ඉල්ලුම්කරුගේ දේපළ පිළිබඳ තොරතුරු බාහිර පාර්ශවයකට ලබා දීමට සිදු වීමෙන් ඉල්ලුම්කරුට සිදු වන යම් ආකාරයක පාඩුවක් හෝ හානියක් පිළිබඳ ව පළාත් පාලන ආයතනය වගකීමට බැඳී නො සිටින බව කරුණාවෙන් සලකන්න.

                    3.  වරිපනම් අංකයක් අලුතෙන් නිකුත් කිරීම සඳහා කෙරෙන ඉල්ලීමක දී, දේපළ පිළිබඳ ස්ථාන පරීක්ෂාවක් සිදු කළ යුතු බැවින් ඉල්ලුම් පත්‍රයෙහි අවසානයේ (උපදෙස් කොටසට ඉහළින්) වෙන් කර දී ඇති කොටුවේ දේපළට ප්‍රවේශ වන මාර්ගය දැක්වෙන දළ රූප සටහනක් ඇඳ ඉදිරිපත් කිරීමෙන් සිදු විය හැකි ප්‍රමාද අවම කර ගත හැකි ය.

6.     පටිපාටිය.

පටිපාටියකාල සීමාවඅධිකාරය
සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයට පැමිණ ගාස්තු ගෙවා ඉල්ලුම් පත්‍රය ලබා ගෙන අදාළ ඇමුණුම් සහ ගාස්තු ද සමඟ සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය පෙරටු කාර්යාලයට භාර දීම ඉල්ලුම්කරු
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය, ඇමුණුම් සහ අදාළ ගාස්තුව භාර ගෙන ලදුපතක් හා පසු විපරම් අංකයක් ඉල්ලුම්කරුට නිකුත් කර ඉල්ලුම් පත්‍රය විෂය භාර නිලධාරිට යොමු කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් වහාමපෙරටු කාර්යාල නිලධාරි
ඉල්ලුම් පත්‍රයේ ඇතුළත් තොරතුරු  තක්සේරු ලේඛනයේ තොරතුරු සමග සැසඳීම් කර, නිවැරදි බව හෝ වෙනස්කම් ඇත්නම් ඒ පිළිබඳ සටහන් සමග (ක්ෂේත්‍ර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ නම් – සටහන 1 බලන්න) ආදායම් පරීක්ෂක වෙත යොමු කිරීමඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබුණු දින සිට දින දෙකක් ඇතුළතවිෂය භාර නිලධාරි  
ඉල්ලුම් පත්‍රයේ තොරතුරු අනුව අවශ්‍ය වන්නේ නම් ක්ෂේත්‍ර පරීක්ෂණයක් කර (සටහන 1) ඉල්ලීම අනුමතයට හෝ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නිරීක්ෂණ හා නිර්දේශ නාගරික කොමසාරිස්ට / ලේකම්ට යොමු කිරීමඉල්ලුම් පත්‍රය තමා වෙත ලැබුණු දින සිට දින දෙකක් ඇතුළතආදායම් පරීක්ෂක
ඉල්ලීම අනුමත හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ නියෝගය විෂය භාර නිලධාරිට යොමු කිරීමඉල්ලුම් පත්‍රයට නිර්දේශය තමන් වෙත ලැබුණු දින සිට දින දෙකක් ඇතුළතනාගරික කොමසාරිස් / ලේකම් (පහත සටහන 3 බලන්න)
තක්සේරු ලේඛනය සංශෝධනය කර ඒ බව ඉල්ලුම්කරුට දැන්වීම හෝ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ නම් හේතු දක්වමින් ඒ බව දැන්වීමඉල්ලීම අනුමත කළ ඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබුණු දිනවිෂය භාර නිලධාරි
තක්සේරු ලේඛනය සහ වරිපනම් ලේඛනය යාවත්කාලීන කිරීමඉල්ලීම අනුමත කළ ඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබුණු දිනවිෂය භාර නිලධාරි
ලේඛන යාවත්කාලීන කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයේ දෙවන පිටපත තක්සේරු දෙපාර්තමේන්තුවට යොමු කිරීමඉල්ලීම අනුමත කළ දින සිට දින 03 ක් ඇතුළතවිෂය භාර නිලධාරි

        සටහන: 1.  නව වරිපනම් අංකයක් ලබා දීමේ අවස්ථාවක් වන විට, ක්ෂේත්‍ර පරීක්ෂණය කිරීම අනිවාර්ය වේ.

                    2.  දේපළෙහි අයිතිය නිවැරදි ව තහවුරු කර නැති අවස්ථාවක හෝ අදාළ දේපළෙහි නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා හෝ ඔහුගෙන් ඇටෝර්නි බලය ලැබ ඇති තැනැත්තකු විසින් ඉල්ලීම ඉදිරිපත් කර නැති විටක දේපළෙහි අයිතිය ලියා පදිංචි කිරීම සිදු නො කරනු ඇත.

                    3.  තක්සේරු ලේඛනයේ තොරතුරු සම්මත කිරීමේ බලය ඇත්තේ සභාව වෙත ය. මේ ආකාරයේ වෙනස් කිරීම සඳහා එක් එක් අවස්ථාවේ දී සභාවේ සම්මතය සඳහා ඉදිරිපත් කිරීමෙන් මෙම කාර්යය අසීමිත ආකාරයෙන් ප්‍රමාද වීමක් සිදු වන බැවින් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මහා නගර සභා ආඥාපනතේ 32 වන වගන්තියේ, නගර සභා ආඥාපනතේ 224 වන වගන්තියේ සහ ප්‍රාදේශීය සභා පනතේ 216 වන වගන්තියේ ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් අදාළ වන පරිදි පිළිවෙළින් නාගරික කොමසාරිස්ට, නගර සභා ලේකම්ට හෝ ප්‍රාදේශීය සභාවේ ලේකම්ට පවරා දීමට පළාත් පාලන ආයතන විසින් ක්‍රියා කිරීම පිණිස උනන්දු කරනු ලැබේ.

7.     ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති විට අනුගමනය කරන පටිපාටිය.

පටිපාටියකාල සීමාවඅධිකාරය
ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු දක්වමින් නාගරික කොමසාරිස්ගේ / ලේකම්ගේ අත්සනින් ඉල්ලුම්කරු දැනුවත් කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට දින 5 ක් ඇතුළතවිෂය භාර නිලධාරි
ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට සිදු වී ඇති හේතු හෝ බාධා ඉවත් කරමින් ඉදිරිපත් කෙරෙන අභියාචනය භාර ගැනීම පෙරටු කාර්යාල නිලධාරි
නැවත ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් 6 වන ඡේදයේ පටිපාටිය අනුගමනය කිරීමඅභියාචනය භාර ගත් දින සිට දින 2 ක් ඇතුළතවිෂය භාර නිලධාරි

8.     දේපළෙහි අයිතිය ලියා පදිංචි කරවා ගැනීමෙන් වැළකී සිටීමෙන් ඇති වන ප්‍රතිවිපාක.

        1.  කිසියම් දේපළක අයිතිකරු වෙත භාර දෙනු ලැබිය යුතු කවර හෝ ලේඛනයක් භාර දීමේ පටිපාටිය මහා නගර සභා ආඥාපනතේ 292 (3) වගන්තියේ ද, නගර සභා ආඥාපනතේ 216 (3) වගන්තියේ ද සහ ප්‍රාදේශීය සභා පනතේ 210 (3) වගන්තියේ ද සඳහන් වේ.

        2.  ඉහත විධිවිධාන අනුව එවැනි දැන්වීමක් භාර දෙනු ලැබීමේ දී, එම දේපළෙහි අයිතිකරුගේ නම සඳහන් නොකොට “අයිතිකරු” හෝ “පදිංචිකරු” යනුවෙන් සඳහන් කර තිබීම ප්‍රමාණවත් ය.

        3.  ඒ ආකාරයෙන් යම් දැන්වීමක් භාර දීමේ දී, එම දැන්වීම නියම තැනැත්තා වෙත නොලැබී යාමට පවතින ඉඩ කඩ වැඩිය.             4.         තවද, කිසියම් දේපළක අයිතිකරුට තම අයිතිය සනාථ කිරීමේ යම් අවස්ථාවක දී මෙම ලියා පදිංචිය යොදා ගැනීමට ඔහුට හැකියාව ලැබෙන බැවින්, ලියා පදිංචි කිරීමෙන් වැළකී සිටීමෙන් මෙම අවස්ථාව මඟ හැරෙනු ඇති අතර ඉහත සඳහන් ආකාරයේ දැන්වීමක් තමන් වෙත නියමිත කාලය ඇතුළත ලැබීම ප්‍රමාද වීමේ ප්‍රතිවිපාකවලට ද ඔහුට මුහුණ දීමට සිදු වනු ඇත.