වීථී රේඛා – ගොඩනැගිලි සීමා සහතිකය නිකුත් කිරීම

1.     හැදින්වීම.

        (අ)   වීථි රේඛා සීමාව

               i.    පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පිහිටි යම් පාරවල් ගමනාගමනයට පහසු ආකාරයෙන් පළල් කිරීමට ඒ පළාත් පාලන ආයතනය තීරණය කර ඇති අවස්ථාවක, ඒ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ කොටස් නිරූපණය කරන මිනින්දෝරු පිඹුරක දැක්වෙන ඒ පාරවල්, ඉදිරියේ දී පළල් කිරීමට අපේක්ෂා කරන ඉඩ ප්‍රමාණය ඒ සිතියමෙහි සලකුණු කිරීම මගින් ඒ පාරවල් දෙපස පිහිටි ඉඩම්වලින් අදාළ පාරට ඈඳා ගන්නා භූමි ප්‍රමාණය නිශ්චය කිරීම සඳහා පළාත් පාලන ආයතනය විසින් තීරණය කර ඒ පිළිබඳ නිවේදනයක් ගැසට් පත්‍රයේ සහ පුවත් පත් නිවේදන මගින් ප්‍රසිද්ධ කළ යුතු ව ඇත. මේ තීරණය ගැනීමෙන් පසු අදාළ මිනින්දෝරු පිඹුරෙහි සටහන් කර ඇති මායිම් රේඛාව වීථි රේඛාව නම් වේ. මේ වීථි රේඛාව තීරණය කළ යම් පාරක මධ්‍යයේ සිට වීථි රේඛා සීමාව දක්වා වන ඉඩම් කොටස යම් ඉදිරි දිනයක පළාත් පාලන ආයතනය විසින් පවරා ගැනීමට යටත් වනු ඇත. මේ හේතුව නිසා ම මේ භූමි ප්‍රමාණය තුළ කිසිදු ඉදි කිරීමක් සඳහා ඉඩ ලබා දීම නො කරනු ඇත.

               ii.   දැනට ශ්‍රී ලංකාවේ වීථි රේඛා නියම කර ඇත්තේ කොළඹ සහ දෙහිවල – ගල්කිස්ස යන මහා නගර සභා විසින් පමණි. සෙසු පළාත් පාලන ආයතන මෙතෙක් වීථි රේඛා නියම කර නැත.

        (ආ)  ගොඩනැගිලි සීමාව

                i     පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පිහිටි මාර්ගයක මධ්‍ය රේඛාවේ සිට දෙපසට යම් නිශ්චිත දුර ප්‍රමාණයක් ඇතුළත කිසිදු ඉදිකිරීමක් සඳහා ඉඩ දීම නො කරනු ඇත. මේ සීමාව ගොඩනැගිලි සීමාව ලෙස හඳුන්වනු ලැබේ. නගර සභාවක සහ ප්‍රාදේශීය සභාවක බල ප්‍රදේශයක් ඇතුළත ගොඩනැගිලි සීමාව මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට දෙපස ට අඩි විසි පහකි (මීටර් 7.62).

                ii.   වෙනත් යම් අධිකාරයකට අයත් මාර්ගයක් සම්බන්ධයෙන්, ඒ අධිකාරය විසින් ගොඩනැගිලි සීමාව නියම කර නැති අවස්ථාවක දී, පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත දැනටමත් පවත්වා ගෙන යනු ලබන සහ යෝජිත සෑම පාරක් සඳහා ම ඉහත කී සීමාව බල පැවැත්වේ.

               iii.  එසේ ම නාගරික සංවර්ධන ප්‍රදේශයකට අදාළ ව, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතෙන් ලැබී ඇති බලය යටතේ, අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ඒ ප්‍රදේශයේ සංවර්ධන සැලැස්ම අදාළ වන කොටස් ඇතුළත පිහිටා ඇති මාර්ගවලට අදාළ ව ගොඩනැගිලි සීමා නියම කරනු ලැබ ඇත.

               iv.  තවදුරටත් එසේ ම, මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ගවලට අදාළ ව ඒ ආයතනය විසින් ද, කිසියම් පළාතක, පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග සම්බන්ධයෙන් ඒ ආයතන විසින් ද, ගොඩනැගිලි සීමා නියම කරනු ලැබ ඇත.

        (ඇ)  වීථි රේඛා සහ ගොඩනැගිලි සීමා සහතිකය

               i.    වීථි රේඛාව පිළිබඳ සහතිකය ලිපියක් මගින් විස්තර කරමින් දැක්විය නො හැක. පළාත් පාලන ආයතනය විසින් නියම කළ වීථි රේඛාව සටහන් කර ඇති මිනින්දෝරු සැලැස්මේ පරිමාණය සහ අදාළ ඉඩමේ මිනින්දෝරු සැලැස්මේ පරිමාණය සැලකිල්ලට ගනිමින්, ඉඩමේ මිනින්දෝරු සැලැස්මේ ඊට අදාළ වීථි රේඛාව සටහන් කර දැක්වීමෙන් මෙම සහතිකය නිකුත් කළ යුතු ය.

               ii.   ගොඩනැගිලි සීමාව පාරේ මධ්‍ය රේඛාවේ සිට කොපමණ දුරකින් පිහිටා තිබේ ද යන්න ලිපියකින් දැන්වීම කළ හැකි ය.

               iii.  වීථි රේඛා නියම කර නැති පළාත් පාලන ආයතනයක් වන විට, එවැනි වීථි රේඛා නියම කර නැති බව ලිපියකින් දැන්වීමත් ගොඩනැගිලි සීමාව කොතෙක් ද යන්න දැන්වීමත් කළ යුතු ව ඇත.

               iv.  වීථි රේඛා නියම කරනු ලබන තෙක්, මේ සහතික දෙක ම ලිපියකින් දැන්වීම කළ හැකි අතර, ඒ සඳහා මෙහි ඇමුණුම් අංක 01 යොදා ගැනීම කළ හැකි ය.

        (ඈ)  වීථි රේඛා සහ ගොඩනැගිලි සීමා සහතිකයක අවශ්‍යතාව

               යම් ඉඩමක මූල්‍ය වටිනාකම ගණන් බැලීමේ දී, වීථි රේඛාවක් නියම කර තිබීම හේතුවෙන් යම් දිනක දී එකී ඉඩමෙන් අනිවාර්යයෙන් බැහැර කිරීමට සිදු වන කොටස් සඳහා මූල්‍ය වටිනාකම ශුන්‍ය ලෙස සලකා ක්‍රියා කරනු ලබන අතර සහ කිසිදු ඉදිකිරීමකට ඉඩ නැති ගොඩනැගිලි සීමාව තුළට ඇතුළත් වන ඉඩම් කොටස්වල වටිනාකම ගණන් බැලීමේ දී එකී භූමි ප්‍රමාණයේ වාණිජ වටිනාකම, ඉදිකිරීම් කිරීමට ඉඩ ඇති භූමියක ප්‍රමාණයට වඩා අඩුවෙන් ගණනය කරනු ඇත. මේ අනුව කිසියම් තැනැත්තකු විසින් වාණිජ බැංකුවකින් හෝ වෙනත් යම් මූල්‍ය ආයතනයකින් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් ඇපයට තබා ණය මුදලක් ලබා ගැනීමට කරන ඉල්ලීමකට අනුව, අදාළ ආයතනය විසින් ලබා දිය හැකි ණය මුදලේ ප්‍රමාණය ගණන් බැලීමේ දී මේ සීමා උපයෝගී කර ගනු ඇත. ඒ සඳහා වාණිජ බැංකුව හෝ මූල්‍ය ආයතනයට නියම කර ඇති වීථි රේඛාව සහ ගොඩනැගිලි සීමාව අවශ්‍ය වන බැවින් ණය ඉල්ලුම්කරු ලවා මේ සහතිකය ලබා ගැනීමට ඒ ආයතන ක්‍රියා කරනු ලැබේ.

2.     නීතිමය අධිකාරය

        (අ)   වීථි රේඛාව:

               i.   252 අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 69 වන වගන්තිය.

               ii.  268 අධිකාරය වන නිවාස හා නගර සංවර්ධන ආඥාපනතේ 19 වන වගන්තිය සහ ඒ යටතේ සාදන ලද රීතිවල 8 වන රීතිය.

        (ආ)  ගොඩනැගිලි සීමාව:

               i.   255 අධිකාරය වන නගර සභා ආඥාපනතේ 74 (1) (අ);

               ii.  1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 49 වන වගන්තිය.

               iii. 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ, යම් නාගරික සංවර්ධන ප්‍රදේශයක් සඳහා අමාත්‍යවරයා විසින් අනුමත කර ප්‍රකාශයට පත් කර ඇති සංවර්ධන සැලැස්මෙහි නියම කර ඇති සීමාව;

               iv. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග සම්බන්ධයෙන් ඒ අධිකාරය විසින් නියම කර ප්‍රකාශයට පත් කර ඇති ගොඩනැගිලි සීමාව;

               v.  කිසියම් පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියකට අයත් මාර්ග සම්බන්ධයෙන් ඒ අධිකාරය විසින් නියම කර ප්‍රකාශයට පත් කර ඇති ගොඩනැගිලි සීමාව.

3.     සුදුසුකම්

        වාණිජ බැංකුවකින් හෝ වෙනත් යම් මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ඉල්ලා සිටින හෝ තම ඉඩමේ සැබෑ වෙළෙඳ පොළ වටිනාකම තක්සේරු කරවා ගැනීමට අවශ්‍ය කරන යම් තැනැත්තකු විසින් මේ සහතික ඉල්ලා සිටිනු ලැබේ.

4.     ගාස්තුව

        (අ)   සභාව විසින් කලින් කල තීරණය කර නියම කරනු ලබන ඉල්ලුම් පත්‍ර ගාස්තුව.

        (ආ)  සහතිකය නිකුත් කිරීමේ ගාස්තුව.

        සටහන: 1.  මාර්ග ගත ක්‍රමයෙන් ලබා ගන්නා ඉල්ලුම් පත්‍ර සඳහා ගාස්තු අය කිරීම නොකළ යුතු ය.

                    2.  සහතික නිකුත් කිරීම සඳහා සාධාරණ ගාස්තුවක් අය කළ යුතු ය.

5.     සැපයිය යුතු ලේඛන

        (අ)   මෙහි ඇමුණුම 02 හි දැක්වෙන ආකෘතියට අනුව පිළියෙළ කළ ඉල්ලුම් පත්‍රයක් සමග එහි නියම කර ඇති ලේඛන.

        (ආ)  මිනින්දෝරු සැලැස්මේ පිටපතක් (මෙම සහතිකය නිකුත් කිරීමේ කාර්යය සඳහා පමණක් සැලැස්ම අනුමත කර තිබීම සැලකිල්ලට ගැනීම අනිවාර්ය නොවේ)

6.     පටිපාටිය.

පටිපාටියකාල සීමාවඅධිකාරය
පෙරටු කාර්යාලයෙන් හෝ සභාවේ වෙබ් අඩවියෙන් ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම ඉල්ලුම්කරු
සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය සහ ඉඩමේ මිනින්දෝරු සැලැස්මේ පිටපත භාර ගැනීම පෙරටු කාර්යාල නිලධාරි
මිනින්දෝරු සැලැස්මේ ආධාරයෙන් සහ ඉල්ලුම්කරු විමසීමෙන් ඉඩමට මායිම් වී ඇති පාරවල් හඳුනා ගැනීම / හඳුනා ගත නොහැකි විට තාක්ෂණ නිලධාරීගේ සහාය ලබා ගැනීමඉල්ලුම් පත්‍රය භාර ගත් අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි / තාක්ෂණ නිලධාරි
අදාළ දේපළ සම්බන්ධයෙන් සභාවට අය විය යුතු යම් මුදල් ප්‍රමාණයක් තිබේ ද යන්න පරීක්ෂා කර බලා (එවැනි මුදලක් වේ නම්) එය ද සමග සහතිකය නිකුත් කිරීමේ ගාස්තු ප්‍රමාණය අය කර ගෙන ලදුපතක් නිකුත් කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් අවස්ථාවේ දීපෙරටු කාර්යාල නිලධාරි
වීථි රේඛා / ගොඩනැගිලි සීමා සහතිකය නිකුත් කිරීම1.   වීථි රේඛා නියම කර ඇති විට, ඉල්ලුම් පත්‍රය භාර ගත් දින සිට දින තුනක් ඇතුළත 2.   වීථි රේඛා නියම කර නැති විට, ඉල්ලුම් පත්‍රය භාර දුන් දින ම1.   ඉංජිනේරු අංශයේ ප්‍රධානියා     2.   පෙරටු කාර්යාල නිලධාරි

        සටහන:  1.   ඉල්ලුම්කරු දේපළෙහි අයිතිකරු නොවන විට, අදාළ සහතිකය ඉල්ලුම්කරුට නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇමුණුම 02 හි ඉල්ලුම් පත්‍රයේ 7 ඡේදය සඳහන් එකඟතාව පළ කර තිබීම අනිවාර්ය වේ.

                     2.   සභාව විසින් වීථි රේඛා නියම කර තිබේ නම්, ඉදිරිපත් කර ඇති පිඹුරු පතෙහි වීථි රේඛාව සලකුණු කර භාර දිය යුතු අතර ඇමුණුම 01 හි ලිපියෙහි ගොඩනැගිලි සීමාව ද දක්වා තිබිය යුතු ය.

                     3.   වීථි රේඛා නියම කර නැති විට ඒ බව සහ ගොඩනැගිලි සීමාව කුමක් ද යන්න සටහන් කර ඇමුණුම 01 හි ලිපිය නිකුත් කළ යුතු ය.


ආදර්ශ වීථි රේඛා සහ ගොඩනැගිලි සීමා සහතිකය ( ඇමුණුම 01)Download
වීථි රේඛා සහ ගොඩනැගිලි සීමා සහතිකය ඉල්ලුම්පත්‍රය ( ඇමුණුම 02 )Download