ගලිගමුව ප්‍රාදේශීය සභාවේ

ඉතිහාසය

1987-12-31 දිනෙන් අවසන් වූ කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාවේ පැවති ඕතර ගම් දොළහ පත්තුව හා ගලිගමුව උප කාර්යාලය ඒකාබද්ධ කරමින් වර්ග කි.මී. 147.8 ක ප්‍රදේශයකින් යුත් ගලිගමුව ප්‍රාදේශීය සභාව 1987 අංක 15 දරණ පනතින් 1988-01-01 දින සංස්ථාපනය කරන ලදී.
ආරම්භක අවස්ථාවේදී විශේෂ කොමසාරිස්වරයකුගේ පාලනය යටතේ පැවති ගලිගමුව ප්‍රාදේශීය සභාවේ විශේෂ කොමසාරිස් වරයා වූයේ ඊ.එම්.පී.ඒකනායක මහතාය. සභාවේ ප්‍රධාන කාර්යාලය පිටගල්දෙනිය වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ පවත්වාගෙන ආ අතර ,ඕතර ගම් දොළහ පත්තුව හා ගලිගමුව උපකාර්යාලය වශයෙන් පවත්වාගෙන යනු ලැබීය.
1991 මැයි මාසයේදී පවත්වන ලද ප්‍රථම ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම මගින් 21 දෙනෙකුගෙන් සමන්විත මහජන නියෝජිත මණ්ඩලයක් පාලනය සඳහා තෝරාපත්කර ගන්නා ලදී. ප්‍රථම සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වූ අතර එම පක්ෂයෙන් 12 දෙනෙක්ද › ලංකා නිදහස් පක්ෂයෙන් 08 දෙනෙක්ද ස්වාධීන 01 අයකුද වශයෙන් මහජන නියෝජිත මණ්ඩලය සමන්විත වූ අතර අජිත් උඩුවන මහතා ප්‍රථම සභාපතිවරයා විය.
1992 ඕතර ගම් දොළහ පත්තුව හා ගලිගමුව උප කාර්යාලයද ප්‍රධාන කාර්යාලයට මධ්‍යගත කරන ලදී. 1992-07-12 දිනෙන් ආරම්භ වූ ප්‍රථම සභාව ජනවාරි 28 දින විසුරුවා හැරීමෙන් පසු නිසි බලධාරීවරයෙකුගේ පාලනය යටතට ගැණුන අතර ගලිගමුව ප්‍රාදේශීය ලේකම්වරයා නිසි බලධරයා වශයෙන් පත්විය.
1997 මාර්තු මාසයේ පවත්වන ලද පළාත් පාලන ඡන්ද විමසීම මගින් නව සභාවක් පත්කරගන්නා ලදී. එම සභාවේ පාලන බලය පොදු පෙරමුණට හිමි වූ අතර එම පෙරමුණෙන් 11 දෙනෙක්ද එක්සත් ජාතික පක්ෂයෙන් 9 දෙනෙකුද ජනතා විමුක්ති පෙරමුණෙන් 01 අයකුද වශයෙන් සභික මණ්ඩලය සමන්විත විය. එහි සභාපති වශයෙන් එච්.සමන් ජයසිංහ මැතිතුමා පත්වූ අතර එම සභාවේ කාලය 2002-04-15 දිනෙන් අවසන් විය.
2002-03-20 දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පාලන බලය හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයෙන් 13 දෙනෙක්ද පොදු පෙරමුණෙන් 07 දෙනෙක්ද ජනතා විමුක්ති පෙරමුණෙන් 01 අයකු වශයෙන්ද නියෝජිත මණ්ඩලය සමන්විත විය.එහි සභාපති වශයෙන් අජිත් උඩුවන මහතා පත්විය.එම සභාවේ කාලය 2006-04-15 දිනෙන් අවසන් විය.
2006-03-20 දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයෙන් පොදු පෙරමුණට බලය හිමි වූ අතර එම පෙරමුණෙන් 11 දෙනෙක්ද එක්සත් ජාතික පක්ෂයෙන් 5 දෙනෙක්ද ජනතා විමුක්ති පෙරමුණෙන් 02 නෙක්ද වශයෙන් පත්විය. නව සභාව 2006-04-15 දින ආරම්භ වූ අතර සමන් ජයසිංහ මහතා එහි සභාපති වශයෙන් කටයුතු කර ඇත. 2006-04-15 දින සංස්ථාපනය කරන ලද බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවට ගලිගමුව ප්‍රාදේශීය සභා සීමාවේ ග්‍රාම සේවා වසම් 10 ක් පවරා ගන්නා ලදී. ඒ අනුව 21 ක්ව තිබූ සභික ධූර සංඛ්‍යාව 18 දක්වා අඩු කරන ලදී. 2008-09-04 දින සමන් ජයසිංහ සභාපතිතුමා පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්විය. ඉන්පසු සභාවේ සභාපති තනතුරට කැළුම් පතිරණ මහතා පත්විය. සභා කාලය 2011 ජනවාරි 05 න් අවසන් කර විසුරුවා හරින ලදී.
2011-01-05 සිට 2011-03-31 දක්වා පාලනය විශේෂ කොමසාරිස්වරයෙකු යටතට පත් කරන ලදී. නිසි බලධරයා ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කරන ලදී. 2011-03-10 පවත්වන ලද පළාත් පාලන ඡන්දයෙන් පොදුජන එක්සත් පෙරමුණට බලය හිමි වූ අතර එම පෙරමුණෙන් 13 දෙනෙක්ද එක්සත් ජාතික පක්ෂයෙන් 05 දෙනෙක්ද තේරී පත්වී 2011-04-01 නව සභාව ආරම්භ වූ අතර එහි සභාපති වශයෙන් කැළුම් පතිරණ මහතා 2015-05-15 දක්වා කටයුතු කරන ලදී. එතැන් සිට 2018-03-26 දක්වා නිසි බලධරයා ලෙස සභා ලේකම්වරයා කටයුතු කරනු ලැබීය.

2018-02-10 දින මුල්වරට කොට්ඨාශ ක්‍රමයට පවත්වන ලද පළාත් පාලන මැතිවරණයෙන් ලංකා පොදුජන පෙරමුණට බලය හිමිවූ අතර එම පෙරමුණෙන් මන්ත්‍රීවරු 18ක්ද එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරු 10ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රීවරු 06ක් ද ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරු 01 ක්ද වශයෙන් තේරී පත්විය. ඒ අනුව මේ වන විට ගරු සමන් ජයසිංහ මැතිතුමා සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර 2023-03-19 සභාවේ ධූර කාලය අවසන් විය. එතැන් සිට මේ දක්වා නිසි බලධරයා ලෙස සභා ලේකම්වරයා කටයුතු කරනු ලබයි.