අක්කර බදු අය කිරීම

1.    හැදින්වීම

බද්දක් නියම කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී ඇති බලතල, නීතියක් මගින් වෙනත් යම් අධිකාරයකට පවරා දීමට පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය යටතේ, නිතිපතා හෝ ස්ථීර ව කෙරෙන ගොවිතැනකට යටත් ඉඩම් මත බද්දක් නියම කර අය කර ගැනීමට ප්‍රාදේශීය සභාවලට බලය පවරා දී ඇත. මෙම බද්ද අක්කර බද්ද යනුවෙන් හඳුන්වනු ලැබේ.

2.    නෛතික අධිකාරිය

(අ)   1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134 (3), 141 වන, 158 වන, 160 වන සහ 161 වන වගන්ති.

(ආ)  මෙහි ඇමුණුමෙහි ඇතුළත් කර ඇති ප්‍රාදේශීය සභාවලට අදාළ ව, නිකුත් කර ඇති ගැසට් නිවේදනවල නියම.

3.    සුදුසුකම්

(අ)   ප්‍රාදේශීය සභා සීමාවක් තුළ පිහිටි ස්ථීර හෝ නිති පතා වගාවට යටත් කර ඇති ඉඩම්.

(ආ)  හෙක්ටයාර් 5 කට වැඩි ඉඩමක් විය යුතු ය.

(ඇ)  මෙහි උපලේඛනයෙහි දැක්වෙන නියමවලට අනුව, විශේෂ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රාදේශීය සභාවලට පමණක් හෙක්ටයාර් 1 කට වැඩි හා හෙක්ටයාර් 5 කට වඩා අඩු ඉඩම්වලින් අක්කර බදු අය කර ගැනීමට බලය ලැබී ඇත.

        සටහන : අක්කර බදු අය කරනු ලබන දේපළකින් වරිපනම් අය කිරීම කළ නොහැක.

4.    ගාස්තු

        ඉඩමෙහි භූමි ප්‍රමාණය අනුව මෙම බද්ද අය කිරීමේ අනුප්‍රමාණ විචලනය වේ. ඒ අනුව අක්කර බද්දට යටත් ඉඩමේ ප්‍රමාණය –

(අ)   හෙක්ටයාර් පහක් හෝ ඊට වැඩි වන අවස්ථාවක, ඒ ඉඩමේ එක් එක් හෙක්ටයාරය මත රු. 10.00 ක් බැගින් වූ උපරිමයට යටත් මුදලක් ද;

(ආ)  හෙක්ටයාර් එකකට නොඅඩු එහෙත් හෙක්ටයාර් පහකට අඩු වන අවස්ථාවක, ඒ ඉඩමේ එක් එක් හෙක්ටයාරය මත රු. 50.00 ක් බැගින් වූ උපරිමයට යටත් මුදලක් ද, වශයෙන් ප්‍රාදේශීය සභාව විසින් නියම කරනු ලබන ආකාරයෙන් අය කර ගනු ලබන මුදල ලෙස සැලකිය යුතු ය.

1.  ඉහත (ආ) ඡේදය යටතේ වන හෙක්ටයාර් පහකට අඩු ඉඩම් සඳහා අක්කර බද්ද නියම කර අය කර ගැනීමට යම් ප්‍රාදේශීය සභාවකට බලය පැවරෙන්නේ, ඒ ප්‍රාදේශීය සභාව අයත් ප්‍රදේශය විශේෂ ප්‍රදේශයක් ලෙස අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ නියම කර ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක දී පමණි. (මෙසේ විශේෂ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ප්‍රාදේශීය සභා පිළිබඳ නාම ලේඛනයක් මෙහි උපලේඛනයට ඇතුළත් කර ඇත)

2.  ප්‍රාදේශීය සභාව විසින් නියම කරනු ලැබූ අක්කර බද්ද, කාර්තු වශයෙන් හෝ එකවර වර්ෂයට ම හෝ සභාවට ගෙවීමේ දී වට්ටමක් ලබා ගැනීමට අවස්ථාව දී ඇත.

(අ)   වර්ෂය සඳහා අදාළ අක්කර බද්ද, අදාළ වර්ෂයේ ජනවාරි මාසය ඇතුළත දී ගෙවනු ලබන අවස්ථාවක, සියයට දහය (10%) ක වට්ටමක් ද;

(ආ)  කාර්තුවකට අදාළ අක්කර බද්ද, අදාළ කාර්තුවේ පළමුවන මාසය තුළ දී ගෙවනු ලබන අවස්ථාවක, සියයට පහක (5%) වට්ටමක් ද වශයෙන් ඒ අවස්ථා වෙන් කර ඇත.

5.    ඉදිරිපත් කළ යුතු ලේඛන

(අ)   ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද සත්‍යෙක්ෂණ නිවේදනය.

(ආ)  සත්‍යෙක්ෂණ නිවේදනය නොමැති යම් අවස්ථාවක, අදාළ ඉඩමේ පිහිටීම (පාර සහ ලිපිනය) දැක්වීමෙන් මෙම තොරතුරු හඳුනා ගැනීමට පෙරටු කාර්යාල නිලධාරියාට පහසු වනු ඇත.

6.    කාර්ය පටිපාටිය

කාර්ය පියවරකාල සීමාවඅධිකාරිය
සත්‍යෙක්ෂණ නිවේදන මුද්‍රණය කරවීමසෑම වර්ෂයක ම ඔක්තෝබර් 31 ට පෙරලේකම්
අක්කර බදු ලැයිස්තුව ප්‍රදර්ශනයට තබා තිබෙන බවට සහ සත්‍යෙක්ෂණය පිළිබඳ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ගැසට් පත්‍රයේ සහ පුවත්පත්වල නිවේදනය කිරීමසෑම වර්ෂයක ම ඔක්තෝබර් 31 ට පෙරසභාපති  
අක්කර බදු ලැයිස්තුව මහජන ප්‍රදර්ශනයට තැබීම සහ සත්‍යෙක්ෂණය පිළිබඳ විරෝධතා ලේඛනය මහජනතාවට විවෘත කර තැබීමසෑම වර්ෂයක ම නොවැම්බර් 01 සිට ජනවාරි 31 දක්වාලේකම්
සත්‍යෙක්ෂණ නිවේදනය දේපළෙහි අයිතිකරුට හෝ පදිංචිකරුට භාර දීමට සැලැස්වීමසෑම වර්ෂයක ම දෙසැම්බර්  31 ට පෙරලේකම්
සත්‍යෙක්ෂණ නිවේදනය ඉදිරිපත් කරමින් හෝ දේපළ සම්බන්ධ විස්තර දක්වමින් අක්කර බදු ගෙවීමට ඉදිරිපත් වීම දේපළෙහි අයිතිකරු හෝ පදිංචිකරු
අදාළ දේපළ හඳුනා ගෙන ගෙවීමට ඇති අක්කර බද්දේ ප්‍රමාණය දැනුම් දීමගෙවීමට ඉදිරිපත් වූ අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි
ගෙවීමට එකඟ වූ මුදල් ප්‍රමාණයට සරිලන වට්ටම් සලකා බල අදාළ බදු මුදල අය කර ගෙන ලදුපත නිකුත් කිරීමමුදල් ලබා ගත් අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි
අක්කර බදු ලේඛනය යාවත්කාලීන කිරීම1.   පරිගණක මෘදුකාංගයේ ඒ අවස්ථාවේ දීම 2.   එසේ නොවන විට මුදල් ගෙවූ දින සිට සතියක් ඇතුළත1.   පෙරටු කාර්යාල නිලධාරි     2.   විෂය භාර නිලධාරි

      සටහන:  1.  ඉඩමේ ප්‍රමාණය සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කර තිබුණේ වුව ද, වර්ෂයට අදාළ අක්කර බදු ගෙවීමට ඉඩමෙහි අයිතිකරු හෝ පදිංචිකරු යටත් වේ.

7.    අක්කර බදු ගෙවීම පැහැර හැරීමේ ප්‍රතිවිපාක

(අ)   නිතිපතා කෙරෙන හෝ ස්ථිර ගොවිතැනකට යටත් කිසියම් ඉඩමක් මත ප්‍රාදේශීය සභාව විසින් නියම කරනු ලබන අක්කර බදු, එම ආයතනය විසින් නියම කරනු ලබන කාලය ඇතුළත දී එම ප්‍රාදේශීය සභාවට ගෙවීමට ඒ ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු යටත් වේ. නියමිත කාලය ඇතුළත එම අක්කර බද්ද ගෙවීමට යම් තැනැත්තකු අපොහොසත් වන්නේ නම්, එම හිඟ මුදල් අය කර ගැනීම සඳහා සභාවේ නිලධරයකුගේ හෝ යම් බදු එකතු කරන්නකුගේ නමට විනිග්‍රහන බලපත්‍රයක් නිකුත් කිරීමට ප්‍රාදේශීය සභාවේ ලේකම්ට නීතිමය බලය ඇත.

(ආ)  ලේකම් විසින් එවැනි බලපත්‍රයක් නිකුත් කරනු ලැබූ විට, එම බලපත්‍රය ලැබූ තැනැත්තා විසින් අදාළ දේපළ මත තිබෙන කවර හෝ තැනැත්තකුට අයත් සියලු ම චංචල දේපළ තහනමට ගෙන විකුණා අය විය යුතු මුදල් ප්‍රමාණය අය කර ගෙන ප්‍රාදේශීය සභා අරමුදලට තැන්පත් කිරීම ද නීත්‍යනුකූල වේ.

(ඇ)  මෙසේ කිසියම් චංචල දේපළක් තහනමට ගැනීමට විනිග්‍රහන බලපත්‍රයක් නිකුත් කිරීමේ ගාස්තුව වශයෙන් අය විය යුතු මුදලෙන් 10% ක ප්‍රමාණයක මුදලක් ද අය කර ගැනීමට බලය ඇත.

(ඈ)  එසේම චංචල දේපළ තහනමට ගැනීමේ ගාස්තු වශයෙන් අය විය යුතු මුදල් ප්‍රමාණයෙන් 10% ක අතිරේක ගාස්තුවකට ද අක්කර බදු ගෙවීමට බැඳී සිටින තැනැත්තා යටත් වනු ඇත.

(ඉ)   තවදුරටත් එසේම, තහනමට ගත හැකි චංචල දේපළ කිසිවක් නොමැති අවස්ථාවක අදාළ නිශ්චල දේපළ තහනමට ගෙන විකිණීමට ද නීතිමය බලය ලැබී ඇත.

අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති නියමය අනුව හෙක්ටයාර් පහකට අඩු ඉඩම්වලින් අක්කර බදු අය කිරීමට බලය ලැබී ඇති ප්‍රාදේශීය සභා ලැයිස්තුව.

1.   1989. 02. 03 දිනැති IV (ආ) කොටස ගැසට් පත්‍රයේ 238 පිටුව.

රත්නපුර දිස්ත්‍රික්කය:

(01)   අටකලන්පන්න ප්‍රාදේශීය සභා ප්‍රදේශය                    (02)    අයගම ප්‍රාදේශීය සභා ප්‍රදේශය

(03)   ඉඹුල්පේ ප්‍රාදේශීය සභා ප්‍රදේශය                             (04)    කුරුවිට ප්‍රාදේශීය සභා ප්‍රදේශය

(05)   රත්නපුර ප්‍රාදේශීය සභා ප්‍රදේශය                             (06)    වැලිගෙපොල ප්‍රාදේශීය සභා ප්‍රදේශය

(07)   බළංගොඩ ප්‍රාදේශීය සභා ප්‍රදේශය                           (08)    ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ප්‍රදේශය

(09)   කොළොන්න ප්‍රාදේශීය සභා ප්‍රදේශය                       (10)    කලවාන ප්‍රාදේශීය සභා ප්‍රදේශය

(11)   නිවිතිගල ප්‍රාදේශීය සභා ප්‍රදේශය                            (12)    පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා ප්‍රදේශය

සටහන:  ඉහත අටකලන්පන්න ප්‍රාදේශීය සභා ප්‍රදේශය, ගොඩකවෙල සහ කහවත්ත යනුවෙන් ප්‍රාදේශීය සභා දෙකක් වශයෙන් ප්‍රතිස්ථාපනය කර ඇත. මේ අනුව මේ ප්‍රාදේශීය සභා ප්‍රදේශ තුළ ද මෙම නියමය අදාළ වේ.

2.   1989. 03. 10 දිනැති IV (ආ) කොටස ගැසට් පත්‍රයේ 478 පිටුව.