පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම

1.     හැඳින්වීම

        ඇතැම් කර්මාන්ත හෝ ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදු විය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතෙන් පැවරී ඇති බලතල යටතේ එම කර්මාන්ත හෝ ක්‍රියාකාරකම් විධිමත් කිරීමට හා පාලනය කිරීමට පරිසර විෂය භාර අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග අනුව, එවැනි යම් කර්මාන්තයක් හෝ ක්‍රියාකාරකමක් කිරීමට පෙර මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගත යුතු බලපත්‍රයකි.

        සටහන: i.    ඉහත නියෝග අනුව පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරී ඇත.

                    ii.   මෙහි ඇමුණුම 01 හි දක්වා ඇති කිසියම් කර්මාන්තයක් පවත්වාගෙන යාම සඳහා ලබා ගත යුතු පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැවරී ඇති බලතල, එකී ජාතික පාරිසරික පනතේ 26 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනවලට පවරනු ලැබ ඇත.

                    iii.  පළාත් පාලන ආයතනයක් විසින් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඉල්ලුම් පත්‍ර භාර ගනු ලබන්නේ එකී ඇමුණුමෙහි සඳහන් කර්මාන්ත සම්බන්ධයෙන් පමණක් වන අතර සෙසු කර්මාන්ත සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කරනු ලබන බලපත්‍රයක් ලබා ගත යුතු ය.

2.     නීතිමය අධිකාරය

        (අ)   1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත;

        (ආ)  මෙහි ඇමුණුම 02 හි ඇතුළත් කර ඇති 2022. 01. 27 වන දිනය දක්වා ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති, එකී පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ නියෝග.

3.     සුදුසුකම්

        (අ)   පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත ඇමුණුම 01 හි සඳහන් කිසියම් කර්මාන්තයක් ආරම්භ කිරීමට අදහස් කරනු ලබන නැතහොත් එවැනි කර්මාන්තයක් කර ගෙන යනු ලබන තැනැත්තෙකු විය යුතු ය.

        (ආ)  අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝගවලින් කර ඇති නියම සම්පූර්ණ කර තිබිය යුතු ය:

4.     ගාස්තුව

        (අ)   ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. 200.00

        (ආ)  ක්‍රියාවලිය සඳහා අය කරනු ලබන පරීක්ෂණ ගාස්තුව ව්‍යාපාරයේ ප්‍රාග්ධනය අනුව පහත පරිදි වේ.

 ආයෝජනය (රු)පරීක්ෂණ ගාස්තුව (රු)
01250,000 හෝ ඊට අඩු3,000.00
02250,001 ට වැඩි එහෙත් 500,000 දක්වා3,750.00
03500,001 ට වැඩි එහෙත් 1,000,000 දක්වා5,000.00
041,000,000 ට වැඩි10,000.00

        (ඇ)  පරිසර ආරක්ෂණ බලපත්‍ර ගාස්තුව රුපියල් 3,000.00 කි.

5.     ඉදිරිපත් කළ යුතු ලේඛන

        (අ)   පරිසර ආරක්ෂණ බලපත්‍ර ඉල්ලුම් පත්‍රය. (පෙරටු කාර්යාලයෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය)

        (ආ)  කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහනක්.

        (ඇ)  ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ සහතික කළ පිටපතක්.

        (ඈ)  අදාළ ස්ථානයේ අනුමත ගොඩනැගිලි සැලැස්ම සහ අනුකූලතා සහතිකය.

        (ඉ)   ඉඩමේ අනුමත කළ මිනින්දෝරු සැලැස්මේ සහතික කළ පිටපතක්.

        (ඊ)   කාර්යයේ යොදවන සේවක සංඛ්‍යාව පිළිබඳ විස්තර

        සටහන: කර්මාන්තය පවත්වා ගෙන යනු ලබන ගොඩනැගිල්ල ඒ කාර්යය සඳහා ම ගොඩනඟන ලද එකක් විය යුතු අතර, ඉහත සඳහන් අනුමත ගොඩනැගිලි සැලැස්ම සහ අනුකූලතා සහතිකය ඒ අනුව ම විය යුතු ය.

6.     ඉල්ලුම් කිරීමේ පටිපාටිය

පටිපාටියකාල සීමාවඅධිකාරය
සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් ඉල්ලුම් පත්‍රය ලබා ගෙන නිවැරදිව සම්පූර්ණ කර, අවශ්‍ය ඇමුණුම් සමග පෙරටු කාර්යාලයට භාර දීමකර්මාන්තය ආරම්භ කිරීමට පෙර හෝ කලින් ලබා ගත් බලපත්‍රයේ වලංගු කාලය ඉකුත් වීමට පෙරඅයදුම්කරු
අදාළ ඇමුණුම් සමග ඉල්ලුම් පත්‍රය භාර ගෙන පෙරසැරි ගාස්තුව අය කර ගැනීම සහ ලදුපත සහ පසු විපරම් අංකයක් ඉල්ලුම්කරුට නිකුත් කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් වහාමපෙරටු කාර්යාල නිලධාරි
ඉල්ලුම් පත්‍රය සහ ඇමුණුම් සහිත ගොනුව පරිසර විෂය භාර නිලධාරි / පරිසර නිලධාරි වෙත යොමු කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් වහාමපෙරටු කාර්යාල නිලධාරි
ඉල්ලුම් පත්‍රය සහ ඇමුණුම් ඇතුළත් ගොනුව පරීක්ෂණ කමිටුවට යොමු කර ක්ෂේත්‍ර පරීක්ෂණයට පැමිණෙන දිනය ඉල්ලුම්කරුට දැන්වීමඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබුණු වහාමපරිසර විෂය භාර නිලධාරි / පරිසර නිලධාරි
ක්ෂේත්‍ර පරීක්ෂාව කර ඉල්ලීම පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ වාර්තාව ලේකම්ට ඉදිරිපත් කිරීමඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබූ දින සිට දින 7 ක් ගත වීමට පෙරපරීක්ෂණ කමිටුව
පරිසර ආරක්ෂණ බලපත්‍රය සකස් කිරීමට නියෝග නිකුත් කිරීමනිර්දේශිත වාර්තාව ලැබුණු දින සිට දින 2 ක් ඇතුළතලේකම්
පරිසර ආරක්ෂණ බලපත්‍රය සකස් කර අත්සන සඳහා ඉදිරිපත් කිරීමනියෝගය ලැබුණු වහාමපරිසර විෂය භාර නිලධාරි / පරිසර නිලධාරි
පරිසර ආරක්ෂණ බලපත්‍රය අත්සන් කිරීමසකස් කළ බලපත්‍රය තමන් වෙත ලැබුණු දින ම සභාපති
ඉල්ලුම්කරුට පරිසර ආරක්ෂණ බලපත්‍රය භාර දීම හෝ තැපෑලෙන් යොමු කිරීමඅත්සන් කළ බලපත්‍රය ලැබුණු දින හෝ ඊට පසු දිනපරිසර විෂය භාර නිලධාරි / පරිසර නිලධාරි

        සටහන: 1. ඉල්ලුම් පත්‍රය භාර ගන්නා අවස්ථාවේ දී එහි නිරවද්‍යතාව පරීක්ෂා කර බැලිය යුතු අතර අඩු පාඩු කිසිවක් වේ නම්, ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් ඉල්ලුම් පත්‍රය භාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කළ යුතු ය.

                    2.  පරීක්ෂණ කමිටුවේ සංයුතිය: ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, තාක්ෂණ නිලධාරි සහ පරිසර නිලධාරි

                    3.  බලපත්‍රය අලුත් කිරීමක දී අනුමත ගොඩනැගිලි සැලැස්ම සහ අනුකූලතා සහතිකය අවශ්‍ය නොවේ.

7.     පරිසර තාක්ෂණික කමිටුව විසින් ඉල්ලීම නිර්දේශ කර නොමැති විට,

පටිපාටියකාල සීමාවඅධිකාරය
ඉල්ලීම නිර්දේශ කර නැති විට, ඊට හේතු සහ නැවත සලකා බැලීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා දැනුම් දීමනිර්දේශිත වාර්තාව ලැබුණු දින සිට දින දෙකක් ඇතුළත ලේකම්
අවශ්‍යතා සම්පූර්ණ කළ බව වාර්තා කිරීම ඉල්ලුම්කරු
6 ඡේදයේ ඉදිරි කාර්ය පියවර අනුගමනය කිරීම  

8.     බලපත්‍රය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇති විට, අභියාචනය කිරීමේ පටිපාටිය:

පටිපාටියකාල සීමාවඅධිකාරය
ඉල්ලුම්කරු විසින් පරිසර විෂය භාර අමාත්‍යංශයේ ලේකම් වෙත අභියාචනය කිරීමප්‍රතික්ෂේප කිරීමේ දැන්වීම ලැබී දින 30 ක් ගත වීමට පෙරඉල්ලුම්කරු
අභියාචන පරීක්ෂණය කිරීමඅභියාචනය ලැබී දින 07 ක් ඇතුළතපරිසර විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්
අභියාචනය සම්බන්ධ තීරණය නිකුත් කිරීම පරිසර විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්

        සටහන: 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23ඉ වගන්තිය යටතේ මේ අභියාචනය සඳහා අවස්ථාව ලැබී ඇත. අභියාචනය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යංශයේ ලේකම්ගේ තීරණය අවසානාත්මක වේ.


1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතDownload