අනවසර ඉදිකිරීම් සඳහා ආවරණ අනුමැතිය

1.     හැඳින්වීම.

        පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත කෙරෙන සෑම ඉදිකිරීමක් ම සඳහා පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරන ලද ඉදිකිරීම් බලපත්‍රයක් යටතේ පමණක් සිදු කළ යුතු ය. මෙසේ අනුමතය නොමැතිව කරන ලද සෑම ඉදිකිරීමක් ම අනවසර ඉදිකිරීමක් වශයෙන් සලකා ක්‍රියා කරනු ලැබේ. මේ අනවසර ඉදිකිරීම් නෛතික විධිවිධානවලට අනුගත කරමින් ඊට ආවරණ අනුමතය දීම සඳහා ක්‍රියා කිරීමට අවස්ථාව සලසා දී ඇත. පවතින නෛතික විධිවිධාන, කොන්දේසි හා නියමවලට අනුරූප වන පරිදි ගොඩනැගිල්ලේ කළ යුතු අවශ්‍ය වෙනස් කිරීම් ඇති කිරීමට යටත් ව මේ ආවරණ අනුමතය ලබා දෙනු ලැබේ.

        සටහන: 1.  හඳුන්වා දී ඇති කොන්දේසි හා නියමවලට පටහැණි වන අවස්ථාවක දී, මේ ආවරණ අනුමතය ලබා දීම ප්‍රතික්ෂේප කරනු ඇත.

                    2.  ආවරණ අනුමතය දීම සලකා බැලීම සඳහා පෙරසැරි ගාස්තු ගෙවා ඉදිකිරීම් බලපත්‍රයක් ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනවසර ඉදිකිරීම සඳහා ආවරණ අනුමතය ලබා දිය හැකි නම් හෝ බලපැවැත්වෙන නියම අනුව ඉදිකිරීම්වලට කළ යුතු වෙනස් කිරීම් සිදු කිරීමෙන් පසුව පමණක් ගාස්තු අය කර ගෙන ආවරණ අනුමතය දීම සලකා බලනු ලැබේ.

2.     නීතිමය අධිකාරය

        (අ)   268 වන අධිකාරය වූ නිවාස හා නගර සංවර්ධන ආඥාපනත.

        (ආ)  1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත.

        (ඇ)  නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ සාදන ලද අංක: 2235/54 හා 2021. 07. 08 දින අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝග.

3.     ඉදිකිරීම් බලපත්‍රයකට දී ඇති ආවරණ අනුමතයේ වලංගුතාව

        (අ)   නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතට අයත් ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමකට අදාළ ව එම ආඥාපනත යටතේ සාදන ලද රීතිවල විධිවිධාන යටතේ සභාපතිවරයා විසින් ගොඩනැගිලි ඉදිකිරීම් සැලැස්මෙහි මුහුණතේ ආවරණ අනුමතය ලබා දෙන ලද බවට තහවුරු කිරීමක් සහිත ව අත්සන් කර තිබිය යුතු ය.

        (ආ)  1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් “නාගරික සංවර්ධන ප්‍රදේශයක්” ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශයක් තුළ කෙරෙන ඉදිකිරීමක් වන විට සැලසුම් කමිටුවේ නිර්දේශ යටතේ ගොඩනැගිලි සැලැස්මේ මුහුණතෙහි නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලය පවරනු ලැබ ඇති තැනැත්තා විසින් ආවරණ අනුමතය දෙමින් අත්සන් කරන ලද ඉදිකිරීම් සැලැස්මක් විය යුතු ය.

               සටහන:  නිකුත් කළ බලපත්‍රය යටතේ ඉදි කරන ලද ගොඩනැගිල්ල භාවිතයට ගැනීමට පෙර අනුකූලතා සහතිකය ලබා ගත යුතු ය. (මේ සඳහා වන පටිපාටිය වෙනම දක්වා ඇත.)

4.     සුදුසුකම්

        (අ)   අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පවතින ඉඩමක් විය යුතුයි.

        (ආ)  අයදුම්කරු දේපළෙහි නීත්‍යනුකූල හිමිකරු විය යුතු ය. නැතහොත් ඔහුගෙන් බලය ලබා ගත් නියෝජිතයකු විය යුතු ය.

        (ඇ)  පළාත් පාලන ආයතනය විසින් වරිපනම් අය කිරීමේ කලාපයක් තුළ ඉඩම පවතින්නේ නම්, අදාළ දේපළෙහි නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තාගේ නම තක්සේරු ලේඛනයෙහි ඇතුළත් වී තිබිය යුතු ය. (තක්සේරු ලේඛනයේ නම ඇතුළත් කර ගැනීම සඳහා දේපළ හිමිකම ලියා පදිංචි කර ගැනීමේ පටිපාටිය බලන්න)

        (ඈ)  (i)   නිවාස හා නගර සංවර්ධන ආඥාපනත අදාළ වන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, නිවාස හා නගර සංවර්ධන ආඥාපනතේ උප ලේඛනයේ දැක්වෙන රීති අනුව ඉදිකිරීම් සිදු කර තිබිය යුතු ය, නැතහොත් ඒ රීතිවලට අනුව අවශ්‍ය වෙනස් කිරීම් සහිත ව සැලැස්ම ඇඳ තිබිය යුතු ය.

               (ii)  නාගරික සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත කෙරෙන ඉදිකිරීමක් වන විට, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ සාදන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල දක්වා ඇති නියම අනුව ඉදිකිරීම් සිදු කර තිබිය යුතු ය, නැතහොත් ඒ රීතිවලට අනුව අවශ්‍ය වෙනස් කිරීම් සහිත ව සැලැස්ම ඇඳ තිබීම සහ ඒ අනුව ඉදිකිරීම් කර තිබීම හෝ ඊට සරිලන ආකාරයෙන් ඉදිකිරීම් වෙනස් කර හෝ අනුමත කිරීමට සුදුසු නොවන කොටස් ඉවත් කර තිබිය යුතු ය. අදාළ ඉඩමේ පිඹුර ඒ නියෝගවලට අනුව අනුමත කර තිබිය යුතු ය.

5.     ගාස්තු

        (අ)   පළාත් පාලන ආයතනය විසින් කලින් කල තීරණය කරනු ලබන ඉල්ලුම් පත්‍ර ගාස්තුව.

               සටහන: 1.  පළාත් පාලන ආයතනය විසින් මෙම ගාස්තුව මුද්‍රණ වියදම් පියවා ගැනීමට පමණක් සීමා වන පරිදි තීරණය කරනු ලැබිය යුතු ය

                           2.  වෙබ් අඩවිය මගින් බාගත කරන ලද ඉල්ලුම් පත්‍රය සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

        (ආ)  ගොඩනැගිලි ඉදිකිරීමකට ආවරණ අනුමතය ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පළාත් පාලන ආයතනය විසින් අය කරනු ලබන ගාස්තු (පෙරසැරි ගාස්තු) 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 වන උපලේඛනයේ දැක්වෙන ආකාරයට විය යුතු ය. මෙම ගාස්තු වෙනස් කිරීමේ හෝ සංශෝධනය කිරීමේ නීතිමය බලය ඇත්තේ නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා වෙත බැවින් කලින් කල කරනු ලබන සංශෝධන පිළිබඳ ව අවධානයෙන් සිටීම වැදගත් වනු ඇත. මෙම ගාස්තු චක්‍රය මහජනතාවට පරිශීලනය කළ හැකි වන පරිදි තබා තිබීමට ද ක්‍රියා කළ යුතු ය.

               සටහන්: (i)   නාගරික සංවර්ධන ප්‍රදේශයකින් බැහැර ප්‍රදේශයක කෙරෙන ඉදිකිරීමක් වන විට, අය කරනු ලබන ගාස්තු ප්‍රමාණය, සභාව විසින් කලින් කල තීරණය කරනු ලබන පරිදි විය යුතු ය.

                           (ii)  මෙම ගාස්තු ප්‍රමාණය තීරණය කිරීමේ දී, නාගරික සංවර්ධන ප්‍රදේශයක දී අය කිරීමට නියමිත ගාස්තු ඉක්මවා අය කිරීමෙන් වැළකී සිටිය යුතු ය.

6.     ඉදිරිපත් කළ යුතු ලේඛන

        (අ)   යම් ඉදිකිරීමක් සම්බන්ධයෙන් වන ඉල්ලුම් පත්‍රය, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ “ඇ” ආකෘතියේ ඉල්ලුම් පත්‍රය සමග “ඇ” ආකෘතියේ – ඇමුණුම I, “ඇ” ආකෘතියේ – ඇමුණුම II, “ඇ” ආකෘතියේ – ඇමුණුම III, “ඇ” ආකෘතියේ – ඇමුණුම IV, “ඇ” ආකෘතියේ – ඇමුණුම V, “ඇ” ආකෘතියේ – ඇමුණුම VI, “ඇ” ආකෘතියේ – ඇමුණුම VII සහ 3 වන උපලේඛනයේ සඳහන් කර ඇති අදාළ වන තැනැත්තකු විසින් නිකුත් කළ සහතිකයක් ද සමග නිවැරදිව සම්පූර්ණ කර ඒ සමග ඉදිරිපත් කළ යුතු ය. සංවර්ධනයේ ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයට අමුණා තිබිය යුතු ලේඛන පිළිබඳ තොරතුරු අදාළ ඉල්ලුම් පත්‍රයේ ම දක්වා ඇත.

        (ආ)  නිවාස හා නගර සංවර්ධන ආඥාපනත අදාළ වන ප්‍රදේශයක ඉදිකිරීමක් වන විට, මෙහි ඇමුණුමෙහි ඉල්ලුම් පත්‍රය භාවිත කළ යුතු ය. (අන්තර්ජාලයෙන් හෝ පෙරටු කාර්යාලයෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය)

        ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීමට ඉදිරිපත් කරනු ලබන ඉල්ලුම් පත්‍ර මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගෙන්වා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිපාදන සලස්වා ඇත. පළාත් පාලන ආයතන ද ඒ ආකාරයෙන් ම ක්‍රියා කිරීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් වේ.

        සටහන:  1.  අයදුම්කරු ගේ නම අදාළ දේපළේ හිමිකරු ලෙසට වරිපනම් ලේඛනයේ ඇතුළත් ව නොමැති නම් ඉදිකිරීම් බලපත්‍ර ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට පෙර වරිපනම් ලේඛනයේ අදාළ සංශෝධන සිදු කර ගත යුතු ය.

                     2.  නිවාස හා නගර සංවර්ධන ආඥාපනතට යටත් වන ප්‍රදේශයක් වන විට මෙහි පහත දැක්වෙන ඇමුණුමට අනුව වන ඉල්ලුම් පත්‍රය සහ එහි සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතු ය.

                     3.  ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කිරීමේ දී, ඉදිකිරීමට අදාළ සැලසුම් පිළියෙළ කළ ගෘහ නිර්මාණ ශිල්පී හෝ වෙනත් යම් වෘත්තිකයා සම්බන්ධ කර ගැනීමෙන් වැරදීම් අවම කර ගත හැකි ය.

7.     කාර්ය පටිපාටිය

            පටිපාටියකාල සීමාවඅධිකාරය
ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම (පෙරටු කාර්යාලයෙන් හෝ සභාවේ වෙබ් අඩවියෙන්)  ඉල්ලුම්කරු
සුදුසුකම් ලැබූ තැනැත්තා විසින් සහතික කළ නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය භාර ගැනීම, පෙරසැරි ගාස්තුව අය කර ගැනීම, ලදුපත නිකුත් කිරීම, පසු විපරම් අංකය හා ක්ෂේත්‍ර පරීක්ෂණයට පැමිණෙන දිනය ඉල්ලුම්කරුට නිවේදනය කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි
ඉල්ලීම විෂය භාර නිලධාරි මගින් තාක්ෂණ නිලධාරි වෙත යොමු කිරීමඉල්ලුම් පත්‍රය භාර ගත් අවස්ථාවේ දී මපෙරටු කාර්යාල නිලධාරි
ක්ෂේත්‍ර පරීක්ෂණයට පැමිණෙන දිනය තහවුරු කරන නිවේදනය ඉල්ලුම්කරුට යොමු කිරීමඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබුණු වහාමතාක්ෂණ නිලධාරි
ක්ෂේත්‍ර පරීක්ෂාවනියම කර ගත් දිනයේ දීතාක්ෂණ නිලධාරි
ඉල්ලීම සම්බන්ධ තම නිරීක්ෂණ හා නිර්දේශ සහිත ගොනුව සැලසුම් කමිටුවට ඉදිරිපත් කිරීම සඳහා විෂය භාර නිලධාරිට යොමු කිරීමක්ෂේත්‍ර පරීක්ෂාව කළ දිනයේ දී මතාක්ෂණ නිලධාරි
තාක්ෂණ නිලධාරීගේ නිර්දේශය සහිත ඉල්ලීම සලකා බලා ආවරණ අනුමතය ලබා දීමනියම කර ගෙන ඇති සැලසුම් කමිටු දිනයේ දීසැලසුම් කමිටුව
ආවරණ අනුමතය සඳහා ගෙවිය යුතු ප්‍රමාද ගාස්තුව සහ එය ගෙවන ලෙස ඉල්ලුම්කරුට දැනුම් දීමසැලසුම් කමිටුව රැස් වූ දිනට පසු දිනවිෂය භාර නිලධාරි
ප්‍රමාද ගාස්තුව ගෙවීම ඉල්ලුම්කරු
ප්‍රමාද ගාස්තුව අය කර ගෙන ලදුපත නිකුත් කර විෂය භාර නිලධාරි දැනුම්වත් කිරීමමුදල ගෙවූ වහාමපෙරටු කාර්යාල නිලධාරි
ආවරණ අනුමතය දුන් බවට ලේඛනවල තහවුරු කර බලයලත් නිලධාරියාගේ අත්සන ලබා ගැනීමසැලසුම් කමිටුව රැස් වූ දින සිට දින දෙකක් ඇතුළතවිෂය භාර නිලධාරි
අත්සන් කළ සහතිකය පෙරටු කාර්යාලයට යොමු කර, ලේඛන රැගෙන යන ලෙස ඉල්ලුම්කරු දැනුම්වත් කිරීමසැලසුම් කමිටුව රැස් වූ දින සිට දින දෙකක් ඇතුළතවිෂය භාර නිලධාරි
ආවරණ අනුමතය දුන් බව තහවුරු කරන ලේඛන ඉල්ලුම්කරුට භාර දී අත්සන් ලබා ගැනීමඉල්ලුම්කරු පැමිණියේ නම්, ඒ අවස්ථාවේ දී හෝ තැපෑලෙන් සහ විද්‍යුත් ලේඛනයක ස්වරූපයෙන්පෙරටු කාර්යාල නිලධාරි

8.     බලපත්‍රයේ සඳහන් කොන්දේසිවලට පටහැණි ව කෙරෙන ඉදිකිරීමක් හෝ අනවසර ඉදිකිරීමක් නිසා ඇති වන නීතිමය ප්‍රතිවිපාක.            

බලපත්‍රයක් ලබා නො ගෙන කරන ලද ඉදිකිරීමක් හෝ නිකුත් කළ බලපත්‍රයේ කොන්දේසිවලට පටහැණි ව සිදු කරන ලද සෑම ඉදිකිරීමක් ම අනවසර ඉදිකිරීමක් ලෙස අර්ථ නිරූපණය ඇත. මෙවැනි සෑම අනවසර ඉදිකිරීමක් ම කඩා ඉවත් කරන ලෙස සභාපතිවරයා විසින් නියෝග නිකුත් කරනු ඇත. එම නියෝගයට අනුගත නොවන සෑම අවස්ථාවක ම, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 28අ වගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ඇත. මහේස්ත්‍රාත්වරයා විසින් අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට නියෝගය ලබා දෙනු ඇත.