ගස් වලින් සිදු වන අනතුරුදායක තත්ත්වය ඉවත් කිරිම

01.  හැඳින්වීම

        (අ)   පළාත් පාලන ආයතන වෙත පැවරී තිබෙන කර්තව්‍යය අතර, ජනතාවගේ සුඛ විහරණය, පහසුව, සුබ සාධනය හා සියලු පහසුකම් ආරක්ෂා කිරීම යන කරුණු ප්‍රධාන වේ. මේ කාරණා අතරට මහජන පීඩා වැළැක්වීම ද ඇතුළත් වේ. යම් ගසකින් හෝ ඉන් කිසියම් කොටසකින් ගස අයිතිකරු නොවන බාහිර තැනැත්තෙකුට අනතුරුදායක තත්ත්වයක් ඇති විය හැකි අවස්ථාවක දී එම පීඩාව ඉවත් කරවීම සඳහා පළාත් පාලන ආයතනයේ විධායක ප්‍රධානියා වෙත මූලික නීතියෙන් බලය පවරා දී ඇත.

        (ආ)  මෙවැනි පැමිණිල්ලක් ලැබී ඇති විට අදාළ ගසෙන් හෝ එහි කිසියම් කොටසකින් යම් තැනැත්තකුගේ දේපළකට හෝ ජීවිතයට තර්ජනයක් වන්නේ ද යන්න විචක්ෂණශීලී ව පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය කාරණයක් වන අතර එවැනි අවස්ථාවක දී පමණක් පළාත් පාලන ආයතනයේ විධායක ප්‍රධානියා වෙත පවරා දී ඇති බලය ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම වැදගත් වේ.

        (ඇ)  ඇතැම් තැනැත්තන් අතර (ඉඩම් හිමිකරුවන් / හවුල් අයිතිකරුවන් / පවුල් අතර) පවතින පෞද්ගලික ආරවුල් සම්බන්ධ කර ගනිමින් මෙවැනි ඉල්ලීම් පළාත් පාලන ආයතනය වෙත ඉදිරිපත් කරනු ලබන අවස්ථා සහ ඉඩම් අයිතිය පිළිබඳ හබ කිරීම් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ආරම්භ කර තිබෙන අවස්ථා පැවතිය හැකි බැවින් ඒ පිළිබඳ ව ද සැලකිලිමත් වීම වැදගත් වේ.

        (ඈ)  පැමිණිල්ලට අදාළ ව පීඩාවක් ඇති වීමට ඉඩ ඇත්තේ සම්පූර්ණ ගසෙන් ද නැතහොත් එහි කිසියම් කොටසකින් ද යන්න හෝ ගෙඩියකින් හෝ ගෙඩිවලින් ද යන්න නිවැරදිව හඳුනා ගැනීම අනිවාර්යයෙන් ම කළ යුතු ව ඇත.

        (ඉ)   යම් අවස්ථාවක තැනැත්තෙකුගේ දේපළකට හෝ ජීවිතයට හානි සිදු විය හැකි යම් ගසක් සම්පූර්ණයෙන්ම කපා ඉවත් කළ යුතු බවට හෝ ඉන් කොටසක් කපා ඉවත් කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති අවස්ථාවක, ඒ ගස කපා ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කිරීමට පෙර, ඒ ගස 1956 අංක 9 දරන ගස් කපා හෙළීම පාලනය කිරීමේ පනත යටතේ සාදන ලද නියෝග වලින් කපා හෙළීම තහනම් කර ඇති ගසක් ද නැති ද යන්න තහවුරු කර ගැනීම ද නීතිමය අවශ්‍යතාවකි.

        (ඊ)   කිසියම් ගසකින් හෝ ඉන් කොටසකින් අනතුරුදායක තත්ත්වය ඇත්තේ ගස අයිතිකරුට හෝ හවුල් අයිතිය ඇති ඉඩමක යම් හවුල් අයිතිකරුවකුට නම්, ඒ අනතුරුදායක තත්ත්වය ඉවත් කර ගැනීම කළ යුත්තේ ගස අයිතිකරු හෝ හවුල් අයිතිකරුවන් විසින් ය.

02.  නෛතික අධිකාරිය

        (අ)   මූලික නීති:

               i.  1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 107 වන වගන්තිය.

        (ආ)  වෙනත් නීති

               i.    1956 අංක 9 දරන ගස් කපා හෙළීම පාලනය කිරීමේ පනත;

               ii.   1956 අංක 9 දරන ගස් කපා හෙළීම පාලනය කිරීමේ පනත යටතේ සාදන ලද නියෝග.

03    සුදුසුකම්

        පහත සඳහන් කරුණු සම්පූර්ණ වී ඇති අවස්ථාවක, ඒ තැනැත්තා මේ සහනය ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

        (අ)   අනතුරුදායක තත්ත්වය පවතින ගස තමාට අයත් ඉඩමක පිහිටා නැති ගසක් විය යුතු ය.

        (ආ)  ගස අයත් වන තැනැත්තා නොවන වෙනත් යම් තැනැත්තෙකුට, ඒ යම් ගසක අත්තකින්, කඳකින්, ගෙඩියකින් හෝ සම්පූර්ණ ගසෙන් අනතුරුදායක තත්ත්වයක් හෙවත් පීඩාවක් වීමට ඉඩකඩ ඇතිවීමේ තත්ත්වයක් තහවුරු කළ හැකි විය යුතු ය.

        සටහන:     ගස පවතින ඉඩමේ අයිතිය, ඉල්ලීම කරන තැනැත්තා ද ඇතුළුව වෙනත් තැනැත්තන්ට ද හවුලේ පවතින ඉඩමක් වන විට හෝ ඒ ගස පවතින ඉඩමේ අයිතිය පිළිබඳ අධිකරණ ක්‍රියා මාර්ග ගනිමින් පවතින අවස්ථාවක හෝ ඉඩමේ අයිතිය පිළිබඳ ආරවුලක් පවතින අවස්ථාවක, ඒ ගසෙන් සිදු විය හැකි අනතුරුදායක තත්ත්වය සම්බන්ධ ඉල්ලීමක් පළාත් පාලන ආයතනයේ විධායක ප්‍රධානියා විසින් ක්‍රියා කිරීමට භාර ගැනීම නොකරනු ඇත. අධිකරණයේ ඉඩම් අයිතිය සම්බන්ධ නඩුවක් විභාග වන අවස්ථාවක, මෙම තත්ත්වය මෝසමක් අධිකරණයට කරුණු වාර්තා කර සහන ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස පැමිණිලිකරු දැනුම්වත් කළ යුතු ය.

04.  ගාස්තු

        මෙම කාර්යය පළාත් පාලන ආයතනවලට පවරා දෙනු ලැබ ඇත්තේ, මහජන සෞඛ්‍ය පිළිබඳ බලතල හා කාර්යය යටතේ පීඩා වැළැක්වීමට අදාළ වන පරිදි වේ. සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ කාර්යය පළාත් පාලන ආයතන වෙත පැවරී ඇති වගකීමක් වන බැවින් මේ සඳහා ගාස්තු අය කළ කිරීමට හැකියාවක් නැත.

05    ඉදිරිපත් කළ යුතු ලේඛන

        මෙහි ඇමුණුමට අනුකූලව සකස් කළ ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය.

06.  කාර්ය පටිපාටිය

පටිපාටියකාල සීමාවවගකීම
සභාවේ වෙබ් අඩවිය මගින් හෝ පෙරටු කාර්යාලයට පැමිණ ඉදිරිපත් කරන ඉල්ලුම් පත්‍රය භාර ගෙන පසු විපරම් අංකය සහ ස්ථානීය පරීක්ෂණයට පැමිණෙන දිනය ඉල්ලුම්කරුට දැන්වීම පෙරටු කාර්යාල නිලධාරි
ඉල්ලුම් පත්‍රය විෂය භාර නිලධාරි මගින් තාක්ෂණ නිලධාරිට යොමු කිරීමඉල්ලුම් පත්‍රය ලැබුණු දිනපෙරටු කාර්යාල නිලධාරි
ස්ථානීය පරීක්ෂණයට පැමිණෙන දිනය ඉල්ලුම්කරුට තහවුරු කිරීමඉල්ලුම් පත්‍රය තමන් වෙත ලැබුණු දින මතාක්ෂණ නිලධාරි
ස්ථානීය පරීක්ෂාව කර, නිරීක්ෂණ හා නිර්දේශ වාර්තාව ඉංජිනේරු / ලේකම් වෙත යොමු කිරීමස්ථානීය පරීක්ෂණය කළ දිනතාක්ෂණ නිලධාරි
තාක්ෂණ නිලධාරීගේ නිර්දේශ තහවුරු කරමින් අදාළ නියමය ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය නගරාධිපති / සභාපති වෙත යොමු කිරීමතාක්ෂණ නිලධාරීගේ නිර්දේශය ලැබුණු වහාම ලේකම්
ඉල්ලීම සම්බන්ධ නියමය ලබා දීමනිර්දේශය ලැබුණු වහාමසභාපති
අනතුරුදායක තත්ත්වය ඉවත් කිරීමේ නියමය ගස අයිතිකරුට දැන්වීම (කපා හෙළීම තහනම් ගසක් වන විට ප්‍රාදේශීය ලේකම්ට පිටපතක් සහිත ව)සභාපතිගේ නියමය ලද වහාම ලේකම්

සටහන:  1.   මෙම නියමය කිරීමට සභාපතිට පැවරී ඇති බලය ඉංජිනේරුවරයාට / ලේකම්ට පවරා දෙනු ලැබීමෙන් මෙම කාර්යයේ දී ඇති වන ප්‍රමාදය වළක්වා ගත හැකි ය.

              2.   ගස සම්පූර්ණයෙන් ම කපා ඉවත් කරන ලෙස සභාපති නියම කර ඇත්නම් සහ අදාළ ගස, කපා හෙළීම තහනම් කරන ලද වර්ගයේ ගසක් වන විට, නගරාධිපතිගේ / සභාපතිගේ නියමය දැක්වෙන ලිපියේ පිටපතක් දැන ගැනීම සඳහා අදාළ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් වෙත ද යොමු කළ යුතු ය.

07.  නියමය අනුව ක්‍රියා කිරීම පැහැර හැර ඇති විට කාර්යය පටිපාටිය

පටිපාටියකාල සීමාවවගකීම
නියමය අනුව ක්‍රියා කර නැති බව ඉල්ලුම්කරු විසින් වාර්තා කිරීම ඉල්ලුම්කරු
සභාවේ වියදමෙන් අදාළ නියමය ක්‍රියාත්මක කරවීම සහ ඒ සඳහා දරන ලද වියදම සභාවට ගෙවන ලෙස ගස අයිතිකරුට නියම කිරීමඉල්ලුම්කරුගේ වාර්තාව ලද වහාමලේකම්
ගස අයිතිකරු අදාළ වියදම පියවීම පැහැර හරින්නේ නම්, එය අය කර දෙන ලෙසට වූ ඉල්ලීමක් මහේස්ත්‍රාත් වෙත ගොනු කිරීමගෙවීමට නියම කළ දිනය අවසන් වූ වහාමලේකම්
ගස අයිතිකරුගෙන් අය විය යුතු මුදල දඩයක් වශයෙන් අය කිරීමට නියම කිරීමනඩු දිනයේ දීමහේස්ත්‍රාත්