ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුල පිහිටි ගලිගමුව ප්‍රාදේශීය සභාව වර්ග කිලෝ මීටර් 124.57 වපසරියකින් සමන්විත වේ. ග්‍රාම සේවා වසම් 51 කින් සමන්විත මෙම බල ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් සහ වෙනත් ජන වර්ග වලට අයත් 78841 ක (සම්පත් පැතිකඩ 2021 ) පමණ ජනග්‍රහණයක් ජීවත් වේ.ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන අතර ස්වයං රැකියා ව්‍යාපාර හා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් මෙම බල ප්‍රදේශය තුළ ජීවත් වේ.
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මගින් පැවරී ඇති බලතල අනුව හා සම්පාදනය කරන ලද අතුරු ව්‍යවස්ථා අනුව ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනනය වන කසළ එකතු කිරීම,ප්‍රවාහනය සහ කසළ සඳහා ප්‍රතිකර්ම යෙදීම යන කාරණා ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ලබයි.
ඒ අනුව නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම තුළින් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් හකහින්න තරණගල රක්ෂිතයේ කසළ අංගනය ඉදිකරනු ලැබීය. එහිදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන කර්තව්‍යයන් වශයෙන් ප්‍රාදේශීය සභාව විසින් එකතු කරන කසළ, කසළ අංගනය තෙක් ප්‍රවාහනය කරනු ලබන කසළ දිරන හා නොදිරන ලෙස වෙන් කර, දිරන කසළ මඟින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරනු ලබන අතර,නොදිරන කසළ තවදුරටත් වීදුරු,ඝන ප්ලාස්ටික් ,පෙට් බෝතල්,ටින් , යකඩ වැනි වටිනාකමක් ඇති ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ඝන අපද්‍රව්‍ය අලෙවිකර ආදායම් උත්පාදනය කරයි. එසේ මිල කළ නොහැකිව ඉතිරිවන ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කොටස් බේල් යන්ත්‍රය මඟින් බේල් කර සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් වන INSEE ආයතනය වෙත පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ ලබාදීම සඳහා කටයුතු කෙරේ.
මෙම ක්‍රියාවලීන් හරහා ප්‍රදේශයේ දෛනිකව ප්‍රධාන මාර්ග 03 ක් ඔස්සේ එක්රැස් කරන කසළ කළමනාකරණය කරගනිමින් ප්‍රශස්ත සේවාවක් මහජනයාට ලබාදීම සිදු කෙරේ.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මධ්‍යස්ථානය විසින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති
- කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතිය
- ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ඝණ අපද්‍රව්‍ය බේලර් යන්ත්‍රය භාවිතයෙන් බේල් කිරිම.
- ජීව වායු ඒකකයක් පවත්වාගෙන යාම
- ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නොදිරන ඝන අපද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපෘතිය
නෛතික අධිකාරිය
- 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 93 වන වගන්තිය
- සබරගමුව පළාත් සභාව විසින් සම්පාදනය කරන ලද ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අතුරු ව්‍යවස්ථාවේ සඳහන් නියමයන් හා කොන්දේසි
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මධ්‍යස්ථානය පවත්වාගෙනයාමේ අරමුණු
- 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතින් පැවරී ඇති නීතිමය කාර්යභාරය ඉටු කිරීම.
- බල ප්‍රදේශයේ ජනනය වන අපද්‍රව්‍ය නිසි කළමනාකාරීත්වයකින් විධිමත් පරිදි එක්රැස් කිරීම හා බැහැර කිරීම.
- බල ප්‍රදේශයේ පරිසරය පිරිසිදුව හා ආකර්ශනීයව පවත්වාගෙන යාම.
- කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සහ එමඟින් බල ප්‍රදේශයේ බෝග වගාවන් සඳහා යොදා ගැනීම.
- කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය තුළින් ආදායම් උත්පාදනය කිරීම.
- බලප්‍රදේශයේ බෝවන රෝග ව්‍යාප්තිය වැලැක්වීම.
- කසළ ජනනය පාලනය කිරීම හා විධිමත් කිරීම තුලින් බල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රසාදයට ලක්වීම.
ඝන අපද්‍රව්‍ය කළමානකරණ ව්‍යාපෘතියට යොදවා ඇති මානව හා භෞතික සම්පත්
කොම්පෝස්ට් ව්‍යාපෘතියේ කාර්ය මණ්ඩලය
- රියදුරු – 03
- කම්කරු – ස්ථීර – 05
- අනියම්/සේවා ගිවිසුම් පදනම/බහුකාර්ය/කොන්ත්‍රාත් – 10
කසල එකතු කිරිමට අදාළ මානව හා භෞතික සම්පත් ප්‍රමාණය
මානව සම්පත් ප්‍රමාණය
- රියදුරු – 03
- කම්කරු -ස්ථීර – 02
- කොන්ත්‍රාත් – 04
භෞතික සම්පත් ප්‍රමාණය
ගලිගමුව ප්‍රාදේශීය සභාවේ කසල එකතු කරන ක්‍රමවේදය
- කසල ට්‍රැක්ටර් – 03
- කම්ෆැක්ටර් රථ – 01
මාර්ගය – ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිට ගලිගමුව හංදිය හරහා අඹන්පිටිය,යට්ටෝගොඩ
ආවරණය කරනු ලබන වසම් – නාරංගොඩ, නාබේරියාව, දෙමටන්පිටිය, ආසිදෙනිය,බිසෝවෙල, බල්ලපාන උඩබාගේ, බල්ලපාන පාතබාගේ, යට්ටෝගොඩ
- යොදවා ඇති ට්‍රැක්ටර් ගණන – 01
- රියදුරු – 01
- කම්කරු කසල පැටවීමට – 01
මාර්ගය – ඇදුරාපොත සිට දේවාලේගම
ආවරණය කරනු ලබන වසම් – ඇදුරාපොත,දේවාලේගම,වට්ටාරම
- යොදවා ඇති ට්‍රැක්ටර් ගණන – 01
- රියදුරු – 01
- කම්කරු කසල පැටවීමට – 01
මාර්ගය – ප්‍රාදේශීය සභා කාර්යාලයේ සිට කොටියාකුඹුර නගරය
ආවරණය කරනු ලබන වසම් – අරන්දර,නාදෙනිය,අටාල,පිංදෙනිය,කුරුණෑගොඩ, අම්පේ (අඟහරුවාදා/බදාදා/බ්‍රහස්පතින්දා/සෙනසුරාදා/ඉරිදා)
- යොදවා ඇති ට්‍රැක්ටර් ගණන – 01
- රියදුරු – 01
- කම්කරු කසල පැටවීමට – 03
බහුලව කසල ජනනය වන ස්ථාන / කසල එක්රැස් කරන ප්‍රභවයන් හා ප්‍රමාණයන්
බහුලව කසල ජනනය වන ස්ථාන
අනු අංකය | ස්ථානය |
01 | ගලිගමුව කර්මාන්තපුරයට ප්‍රවේශ වන හංදිය |
02 | පිටගල්දෙනිය සතිපොල |
04 | මහා පරිමාණ හෝටල්, ගාමන්ට් ෆැක්ටරි,බේකරි තුලින් |
***ඉහත ස්ථාන මේ වනවිට කසල බැහැර කිරීමේ විවිධ ක්‍රමවේද අනුගමනය කර පාලනය කිරීමට කටයුතු යොදා ඇත..
කසල එක්රැස් කරන ප්‍රභවයන් හා ප්‍රමාණයන්
අනු අංකය | ප්රභවය | ප්‍රමාණය (දළ) (මාසිකව) |
01 | වීදි ඇමදීමේ | ටොන් 01 |
02 | නිවාස හා හෝටල් | ටොන් 08 |
03 | ව්‍යාපාරික ස්ථාන | ටොන් 05 |
04 | සති පොළ | ටොන් 06 |
05 | වෙනත් | ටොන් 02 |
*** ඉහත ප්‍රමාණයන් කලින් කලට වෙනස් වේ.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන තොරතුරු බිඳක්
අප රටේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව කැළිකසළ නිසි ලෙස බැහැර නොකිරීම නිසා පාරිසරික සහ සෞඛ්‍යමය ගැටළු රැසක් ඇතිව තිබෙනවා. එම ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දී තිබෙනවා. එහි දී සිදුවන්නේ ඝන අපද්‍රව්‍ය එකතු කර ප්‍රතිචක්‍රිකරණය කිරීමෙන් පසුව විවිධ නිෂ්පාදන සිදුකිරීම යි. ඒ අනුව වර්තමානය වන විට මෙරට බොහෝ ප්‍රදේශවල පළාත් පාලන ආයතන විසින් ඝන අපද්‍රව්‍ය එකතු කිරීම හා ඒවා කළමණාකරණය කිරීම සිදුකරනු ලබයි.
ඝන අපද්‍රව්‍ය යනු
එදිනෙදා ක්‍රියාවලියන්ගෙන් ජනිත වී ඉවත දමනු ලබන ආර්ථිකමය වශයෙන් වටිනාකමක් නොමැතියැ යි සැලකෙන ඝන තත්ත්වයේ අපද්‍රව්‍යයන් ඝන අපද්‍රව්‍ය ලෙසින් හඳුන්වනු ලබනවා. කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්ටික්, පොලිතින්, ලෝහ වර්ග, පොල්කටු, ඉවත ලද විවිධ ආහාර ද්‍රව්‍ය වැනි දේවල් ඒ අතරට අයත් වනවා. පසුගිය දශක කිහිපය තුළ මෙරට ජනගහනයෙහි සිදුවුණු වර්ධනයත් සමගම ඝන අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම බහුල වශයෙන් සිදු වුණා. එම නිසා නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ගැටළු කිහිපයක් නිර්මාණය වී තිබෙනවා.
ඝන අපද්‍රව්‍ය නිසාවෙන් ඇතිව තිබෙන පාරිසරික සහ සෞඛ්‍යමය ගැටළු
- අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා තැනින් තැන කසල ගොඩවල් දක්නට ලැබීම. එවිට පරිසරයේ තිබෙන අලංකාර බව නැතිවීම.
- කසල ගොඩවල් ගිනි තැබීම නිසා අහිතකර වායූන් වායුගෝලයට එකතු වීම.
- කසල ගොඩවල්වලින් අධික ලෙස දුගඳ හැමීම නිසා මිනිසුන්ට ජීවත්වීමට අපහසු පරිසරයක් නිර්මාණය වීම.
- කසල එකතුවන ස්ථාන ආශ්‍රිතව විවිධ සතුන් මඟින් ලෙඩ රෝග පැතිර යාම.
- කසල ගොඩවල්වල තිබෙන අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා සතුන් මිය යාම.
- අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා පානීය ජලය අපවිත්‍ර වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්වීම.
අපද්‍රව්‍ය කළමනාකරණය කළ යුත්තේ ඇයි?
වර්තමානය වන විට අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති බොහෝ පළත් පාලන ආයතන විසින් තම බලප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කරමින් කටයුතු කරන අතර එහි දී ආකාර කිහිපයකට අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කරනු ලබයි. එසේ අපද්‍රව්‍ය කළ කළමනාකරණය කිරීම් තුළින්
- පරිසරය අලංකාර වීම
- ලෙඩ රෝග පැතිර යාම අවම වීම
- කසල ප්‍රතිචක්‍රිකරණය තුළින් මුදල් උපයාගත හැකිවීම
- පරිසර දූෂණය අවම වීම
- මිනිසුන්ට ජීවත්වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වීම
වැනි ආර්ථිකයට හා සමාජයට ඉතා යහපත්ය ආකාරයට ධනාත්මක ප්‍රතිඵල ලබා දෙනු ලබයි.
අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දී භාවිතා කරන ක්‍රම
- අකාබනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම
- ජනනය වන ස්ථානයේ දීම අපද්‍රව්‍ය වෙන් කරන සංකල්පය
- ප්‍රජා සහභාගිත්ව ගෘහස්ත කොම්පෝස්ට් නිෂ්පාදන පද්ධති (උදා: කොම්පෝස්ට් බඳුන්, ජීව වායු ඒකක)
- පළාත් පාලන ආයතන සඳහා වුණු අඩු සීඝ්‍රතාවයෙන් යුත් කොම්පෝස්ට් පද්ධති
අපද්‍රව්‍ය වෙන් කිරීම සඳහා භාවිතා කරන වර්ණ කේත ක්‍රමය
අපද්‍රව්‍ය ජනනය වන ස්ථානයේ දීම වෙන් කරන සංකල්පය වර්තමානය වන විට බොහෝ පළාත් පාලන ආයතන විසින් සිදුකරනු ලැබෙනවා. එම ක්‍රියාවලිය මඟින් වෙන් කරන අපද්‍රව්‍ය කොම්පෝස්ට් සෑදීම සහ ප්‍රතිචක්‍රිකරණය යන ක්‍රියාවලීන් සඳහා භාවිතා කරනවා. එලෙස අපද්‍රව්‍ය වෙන් කිරීමේ දී විවිධ වර්ණයන්ගෙන් යුත් බඳුන් භාවිතා කරනවා. එහි දී භාවිතා කරන වර්ණ කේතයන් මෙසේ යි.
- නිල් වර්ණය – කඩදාසි සහ කාඩ්බෝඩ්
- රතු වර්ණය- වීදුරු
- තැඹිලි වර්ණය- ප්ලාස්ටික් සහ පොලිතීන්
- දුඹුරු වර්ණය- ලෝහ සහ පොල්කටු
- කොළ වර්ණය- දිරාපත් වන ද්‍රව්‍ය
අකාබනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම
පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු, ලෝහ, කඩදාසි, කාඩ්බෝඩ් වැනි ද්‍රව්‍ය අකාබනික අපද්‍රව්‍ය අතරට අයත් වනවා. ඉහත සඳහන් කළ ද්‍රව්‍ය පරිසරයට එකතුවීම නිසා පරිසර දූෂණය විශාල වශයෙන් සිදුවනවා. විශේෂයෙන්ම ප්ලාස්ටික් සහ පොලිතින් පරිසරයට මුදාහැරීම විශාල ගැටළුවක් බවට පත්ව ඇත. එම නිසා අකාබනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කර විවිධ ප්‍රයෝජනවත් දේ නිෂ්පාදනය කිරීම සිදුවනවා. එම ක්‍රියාවලිය සඳහා දායක වන පිරිසක් දිවයින පුරා දක්නට ලැබෙනවා. ඔවුන්ගේ රාජකාරිය වන්නේ ගම්මානවලට ගොස් අකාබනික අපද්‍රව්‍ය මිලට ගෙන ඒවා ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානවලට රැගෙන ගොස් වැඩි මිලකට විකිණීම යි. ඉදිරියේ දීත් මෙම වැඩපිළිවෙළ සාර්ථකව අප රට තුළ ක්‍රියාත්මක වීම තුළින් පරිසර දූෂණය පාලනය කරගත හැකියි.
කාබනික අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් නිපදවීම
ආහාර අපද්‍රව්‍ය, කොළරොඩු, සහ අතුරිකිලි කාබනික අපද්‍රව්‍ය අතරට අයත් වනවා. එලෙස කැළිකසල ලෙසින් ඉවත් වන කාබනික අපද්‍රව්‍ය භාවිතා කරමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සිදුකරනවා. එසේම ජීව වායු ඒකක සෑදීම සඳහා ද එම කාබනික අපද්‍රව්‍ය භාවිතා කරනවා. එලෙස නිෂ්පාදනය කරනු ලබන පොහොර කෘෂිකාර්මික වැඩ කටයුතුවල දී ප්‍රයෝජනයට ගනු ලබනවා. එසේම ජීව වායුව ආහාර පිසීම සහ ආලෝකය ලබාගැනීම වැනි කාර්යයන් සඳහා භාවිතා කරනවා. ඒ අනුව මෙය එදිනෙදා ජීවිතයේ දී වැයවන ගෑස් සහ විදුලිය ඉතිකරගත හැකි සාර්ථක ක්‍රමයක් බවට පත්ව තිබෙනවා.
3R සංකල්පය
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා 3R නම් සංකල්පය හඳුන්වා දී තිබෙනවා. එහි දැක්වෙන R අකුරු ත්‍රිත්වයෙන් නිරූපණය වන්නේ පහත සඳහන් දේවල් තුන යි.
- Reduce (අපද්‍රව්‍ය ජනනය අවම කිරීම)
- Reuse (අපද්‍රව්‍ය නැවත භාවිතා කිරීම)
- Recycling (අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම)